Wednesday, December 03, 2014

ජනපතිවරණ සිහින සාප්පුව


අකලට පීදුනත් මේ ජනාධිපතිවරණය සිහින සාප්පුවකි. මේ මල්වට්ටිය කරේ තියන් යන සහ මල්වට්ටියට අතගහන සියලු දෙනාටම සිහින ඇත. ඒ හැමටම තමන්ට අවැසි සිහිනය ජනවාරි අටවෙනිදා වෙනතෙක් දකින්න විඳින්න පුළුවන් උනත් සැබෑවන්නේ කිහිපදෙනෙකුගේ සිහින පමණි. අනික් අයට සිදුවන්නේ තවත් අවුරුදු හතරකට අටකට හෝ ජීවිත කාලය පුරාවටම "මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න" කියා සිහින දැක දැක්ම ඉන්නටය.

මේ ජනාධිපතිවරණය කරලියට එන්නේම ජනාධිපතිතුමාගේ මැරෙනතුරා බලයේ ඉඳීමේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණෙන්ය. එය සැබෑවෙයිද තිබුණු අවුරුදු දෙකටත් කෙලවෙයිද කියා අපිට දැනගන්න ලැබෙන්නේ අටවෙනිදායින් පසුවය. බැසිල්ගේත් ගෝඨාභයගේත් සිහින මොනවාදැයි හරියටම පැහැදිලි නැතත් ඒවා නාමල් බේබිගේ සිහින සමග නොපෑහෙන බවනම් පැහැදිලිය. මේ සිහින කොතරම් පැටලී ඇද්ද කියනවානම් ගෝඨාභයගේ සිහිනය වෙනුවෙන් ගොඩනැගූ බොදුබල සේනාව නිසා මහින්දගේ සිහිනය බිඳී යන ලකුණු පහළවී ඇත. මොනවා උනත් රාජපක්ෂ පවුලේ සියලුදෙනාම තම තමන්ගේ සිහින පසෙක දමා මහින්දගේ සිහිනය වෙනුවෙන් වැඩ කලයුත්තේ ඒ සිහිනය සැබෑ නොවුනොත් බාප්පලාගේ ලොකු බෙබිලගේ ලොකු ලොකු සිහිනවලට පමණක් නොව චූටි බෙබිලාගේගේ අභ්‍යාවකාශයට යෑම නාවික හමුදාපතිවීම වැනි අහිංසක හීන වලටද වෙනදේ හිතාගන්නත් බැරි නිසාය.

මෛත්‍රීපාල ශ්‍රී ලංකා එක අතහැර දමා යන්නට මූලික හේතුව ඔහුගේ අගමැති සිහිනය කවදාවත් සැබෑ නොවන බව තේරුම් යාම නිසාය. දැන්නම් ඔහුටද ඊට එහා ගිය ලොකු ලොකු සිහින ඇත. ඒවායේ සීමාව දන්නේ ඔහුම පමණි. ඩඩ්ලි ඇතුළු ඔහුගේ සහෝදරයින් දොළොස්දෙනාගේ හීනය තම සොහොයුරා ජනාධිපති කරවීමලු. ඒ හීනය එතනින් නතරවන්නේනම් හොඳය. නැත්නම් රාජපක්ෂ සමාගම දී සිරිසේන සමාගම ගත්තා වගේ කියා ප්‍රස්ථා පිරුලක් හදෙනු ඇත. කොහොම උනත් මෛත්‍රීපාලගේ හැරයාම නිසා සිරිපාල උන්නැහේනම් තව දශමයකින් විතර අගමැති සිහිනයට ලංවී ඇත. එහෙත් එය හැමදාම සිහිනයක්ම පමණක් බව ඔහුත් දනී අපත් දනී. ජනක බණ්ඩාර, රෙජිනෝල්ඩ්, ජොලි සීයා ඇතුළු ශ්‍රී ලංකා කාරයින් අවුරුදු දහයක් තිස්සේ දුටු නපුරු සිහිනයෙන් එළියට එන්න හැදුවත් මුදල් සහ ෆයිල් විසින් වැඩේ කේස් කර ඇත. ජොනී, එතනෝල් ලක්ෂ්මන් ඇතුළු හොරුන්ගේ සිහිනනම් සැබෑවුයේ මහින්දගේ දෙවෙනි කාර්තුව පටන්ගත් දවස්වලමය. දැන් ඔවුන්ට තියෙන්නේ සැබෑවූ සිහිනය යලිත් සිහිනයක්ම වෙයිදෝ කියන බියය. රජවාසල කවටයා වන විමලේට ඇත්තේ එදාවේල සරිකර ගැනීමේ සිහිනයයි. ඔහුත් ඔහුගේ රාවණ බලකායත් මියෙම්වා හෝ රැකෙම්වා කියා ස්වාමියාගේ දෙපතුලටම වී හිඳියි. ගම්වල ඉන්නා ශ්‍රී ලංකාකාරයන්ටනම් ලොකු සිහින නැත. බඩට බත් නැතත් ඔවුන්ගේ ආණ්ඩුවක් තියන නිසා ඔවුන් සිහින සැබෑවූවායැයි සිතාගෙන සිටිති.

රනිල්ට ඇත්තේ මැරෙන්නට පෙර රටේ නායකයාවීමේ සිහිනයයි. මංගලලා විමල්ලා විසින් ඔහුගේ චරිතය යලි ගොඩනැගිය නොහැකිලෙස විනාශකර ඇති බැවින් රටේ ජනතාවගේ චන්දයෙන් එතනට යාම සිහිනයක්ම බව ඔහු දනී. එනිසා මෛත්‍රීපාල හරහා ජනතාව බයිපාස් කිරීම රනිල්ගේ සිහිනයයි. සජිත්ගේ සිහිනය කලින්ම එලියට දැමීම නිසා වඳ පීදී ඇත. ඒක නිසා ඔහුට සුපුරුදු පරිදි නකුට දෙපරන්දේ ගසාගෙන වැල යන පැත්තට මැස්ස ගැසීම හැර වෙන කරන්න දෙයක් නැත. යූ.ඇන්.පී එකේ මන්ත්‍රීලා මහින්ද අමරවීර කියූ පරිදි උන් නැවත්වූ තැනින් කන්න පටන්ගන්න සිහින දකින අතර ගමේ යූ.ඇන්.පී කාරයා සිහින දකින්නේ නැතිවූ සිවිල් බලය යලි ලබාගෙන ගමට ලොක්කා වීමටය. චන්ද්‍රිකාට ඇති එකම සිහිනය තමාගේ පවුලේ බුදලයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමාව එලවූ රාජපක්ෂලාගෙන් පලිගැනීමයි. ඒ සඳහා ඕනෑම කෙනෙක් සමහ එක්ව සිහින දැකීමට ඇය සූදානම්ය. මේ අනුව බලන කල ඇගේ හොඳම සිහින සගයා ජෙනරාල් ෆොන්සේකාය. මොකද ඔවුන් දෙදෙනාගේම සිහිනය එකක්ම බැවිනි. මහින්ද සමග දිගටම හිටියොත් ඔහුත් සමගම තමන්ගේ සිහිනයත් වලපල්ලට යනබව හෙළ උරුමය දනී. ඒ නිසා දැන් ඔවුන්ගේ සිහිනය මෛත්‍රීගේ දෙපාමුල පුදා ඇත. ඒ සඳහා ටී.එන්.ඒ එකේ මුස්ලිම් කොන්ග්‍රසයේ සිහින බාධාවක් නොවන බව කලින්ම කියන්නට ඔවුන් පරිස්සම් වී ඇත. ජේ.වී.පී එක සිහින දකින්න ආසය, එහෙත් බයය. මීට පෙර කිහිප වරක්ම මැවු සුබ සිහින බිඳ වැටීම නිසා මෙවර සිහින මැවුවත් නොමැවුවාසේ සිටීමට ඔවුන් ප්‍රවේසම් වී ඇත.

මේ සියලු දෙනා දහසකුත් එකත් විකාරරූපී සිහින දකිද්දී, රටේ මහජනයාට ඇත්තේ තමන්ගේ මහන්සියෙන් හම්බකරන් ජීවත් වෙන්න පුළුවන් හොරකමින් දුෂණයෙන් තොර සාධාරණ සමාජයක්, සැමට එකසේ බලපාන නීතියක් සහ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් වැනි සරල සිහින කිහිපයකි. ඒ සිහින සැබෑවීම වෙනුවට ඔවුන් නිදහස ලැබූදා පටන්ම නපුරු සිහිනයක් දකිමින් සිටී. කලින් කලට සුබ සිහින දකින්නට සිහින දකිමින් චන්ද පාවිච්චි කලත් එන්න එන්නම සිහිනය භයංකාර වනවාමිස ගොඩයාමක් නම් නැත. සිහින සැබෑවන්නේ කැපවීමෙන් නම් තමන්ගේ සිහින දේශපාලනඥයන් වෙත බාරදී නොසිට ඒවා සැබෑ කරගැනීම සඳහා ජනතාව සක්‍රියව දායක විය යුතුය. නැත්නම් ඒ සිහින සදහටම සිහිනම වෙනු ඇත.

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

15 comments:

  1. දසයා, මෙය විශිෂ්ට සටහනක් !!!

    ReplyDelete
  2. Rear Gate අපිව අතහැර දැමූ පසු, මට හමු වූ එයට සම කළහැකි blog එක මෙයයි.සුබ ගමන්.

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ Mundeer. Rear Gate මට වඩා ගොඩක් හොඳට ලියපු කෙනක්.

      Delete
  3. මෙතන තියෙන ප්‍රශ්ණය ජනතාව සක්‍රීයව සහභාගී වන්නේ කා සමගද කියන එක. මම හිතනවා අපේ රටේ ජනතාව නිදහසට වඩා හොයන්නේ. හොඳට කාලා බීලා ඇඳලා ඉන්නේ කොහොමද කියන එක. උන්ට රටට හෙන ගැහුවත් කමක් නෑ. තමන් උපන් මව්බිමට කිසිම ආදරයක් ගෞරවයක් නෑ. එහෙම ඇතිවෙන්න හේතුවකුත් නෑ. හැම එකාම බලන්නේ ආත්මය විතරක් නෙමෙයි ඇඟ උනත් විකුණලා තනියෙන් ගොඩ යන්න. දැන් බලන්න වෙනසක් කිරීමේ පොඩි අවස්ථාවක් ඇවිත් තියෙන වෙලාවෙත් (ඇතිවේදැයි කීමට නොහැක.) ඒ ගැන වගේ වගක් නැතිව. ලව් ලෙටර්, රොමෑන්ටික් කවි. සරළ ගී, බයිලා අහගෙන තම තමන්ගේ රොමෑන්ටික ළෝකවල තාමත් ජීවත් වන පිරිස තමයි වැඩි. උන් කියන දෙයක් තමයි අපිට දේශපාළණය තිත්තයි, ඒක අරහං, අපි ඡන්දේ දාන්නේ නෑ. මොකා ආවත් අපිට එකයි කියන ගොන් කතාව. එහෙම අදහස් වලින් මණස පුරවගෙන ඉන්න ජනම් එකක් ඉන්න රටකට මොන හෙටක්ද? අඩුම ගානේ මේ වෙලාවෙවත් කතිකාවක් ඇති කරලා ක්‍රියාශීලී වෙන්න ඕන නේද? ඒක තමන් කැමති පක්ෂය, පුද්ගලයා උනාට අවුලක් නෑ. නමුත් ක්‍රියාකාරිව සහභාගි විය යුතුමයි. නැත්නම් වෙන්නේ, වැඩවසම් යුගයකට රට ගිහින් තමන්ට ඡන්ද අයිතියත් නැති වන එක. එහෙම දවසක් ආපු දවසකට තේරේවි, ඡන්දයක් වටිනාකම. ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස. ඒකයි මම පොලිටික්ස් ලියන උන්ට මනාප. උන් මේ රට ගැන හැඟිමක් ඇති උන්. අපේ රට කොතරම් බොළඳද බලන්න. ෆේස් බුක් එක සහ බ්ලොග්ම ඇති.

    ReplyDelete
    Replies
    1. මාතෙ, ඕක තමයි බ්‍රෙෂ්ට් කිව්වෙ, මේ ජනතාව අයින් කරල වෙනත් ජනතාවක් පත් කරගන්න ඕන කියල..
      "අපේ රට කොතරම් බොළඳද බලන්න. ෆේස් බුක් එක සහ බ්ලොග්ම ඇති".මෙන්න හොඳ උදාහරනයක්... මා මෛත්‍රීට ඡන්දය නොදෙන්නේ ඇයි?

      Delete
    2. ඒක තමයි මාතේ කරුමේ.

      Delete
  4. චන්දදායකයා (මහජනතාව=අපි ) නින්දෙන් අවදි කරන එලාම් එක කා ගාවද ඇත්තටම තියෙන්නේ..? අවදි වෙනකන් මේ නපුරුහීනේ දකින්න වෙන බව දැන දැන නේද අපි මේ එලාම් එක ඕෆ් කරගෙන නිදාගෙන ඉන්නේ...?

    ReplyDelete
    Replies
    1. වෙන එකෙක් ඇවිල්ල ගොඩදාල දෙනකල් අපේ ගොඩක් දෙනා නිදි.

      Delete
  5. දෙකම නැතුව වෙන එකෙක් හෝ එකක් ඕන බව අපි හැමෝම දන්නවා. ජනතාවට කවද හරි තේරුම් යාවි. දැනටමත් තේරෙන අය ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ජනතාව තේරුම් අරන් විතරක් මදි අජිත්. ඒ සඳහා තමන්ට පුළුවන් අයුරින් කැප වෙන්න ඕන. නැත්නම් සිස්ටම් එකක් වෙනස් කරනව කියන එක ලේසි නෑ.

      Delete
    2. ප්‍රශ්නේ මල්ලි ඔය කැපවෙලා ඉන්න කට්ටියත් ජනතාවට බයයි. ජනතාවට තේරුම් ගිය දවසට විතරයි අරගලයක් වෙන්නේ. එහෙම නැතුව කරන්න ගිය හැම දේම හබක් වුන එකයි වුනේ. පුරවැසි ජන මාධ්‍ය තුලින්, පුරවැසි නැගිටීම් තුලින් තම මේ හැම දෙයක්ම වෙන්න ඕනේ. මෙහෙයවන්න් ඉන්න පක්ෂ වල එවුන්ගේ පුරාජේරුව වැඩක් නැහැ.

      Delete
  6. අපි දකින්නෙත් හින,හැබැයි ඒ හින දවසක සැබෑ වේවි කියලා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඒවා සැමදාම සිහින විතරක් නොවේවා කියල පතමු මනෝජ් :)

      Delete
  7. "මේ සියලු දෙනා දහසකුත් එකත් විකාරරූපී සිහින දකිද්දී, රටේ මහජනයාට ඇත්තේ තමන්ගේ මහන්සියෙන් හම්බකරන් ජීවත් වෙන්න පුළුවන් හොරකමින් දුෂණයෙන් තොර සාධාරණ සමාජයක්, සැමට එකසේ බලපාන නීතියක් සහ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් වැනි සරල සිහින කිහිපයකි. ඒ සිහින සැබෑවීම වෙනුවට ඔවුන් නිදහස ලැබූදා පටන්ම නපුරු සිහිනයක් දකිමින් සිටී. කලින් කලට සුබ සිහින දකින්නට සිහින දකිමින් චන්ද පාවිච්චි කලත් එන්න එන්නම සිහිනය භයංකාර වනවාමිස ගොඩයාමක් නම් නැත. සිහින සැබෑවන්නේ කැපවීමෙන් නම් තමන්ගේ සිහින දේශපාලනඥයන් වෙත බාරදී නොසිට ඒවා සැබෑ කරගැනීම සඳහා ජනතාව සක්‍රියව දායක විය යුතුය. නැත්නම් ඒ සිහින සදහටම සිහිනම වෙනු ඇත."

    පුක තමයි! බහුතර ජහමනයට අවශ්‍ය කෙසේහෝ තමන්ට කරවාගැනීමයි නැත්නම් අනෙකාට කෙලකරවීමි!

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.