Wednesday, December 24, 2014

කට... කට...


අම්ම කියන්නෙ,
පුතේ කට පරිස්සම් කරගනින් කියල.

ගෙදර නෝනා කියන්නෙ,
ඔය දරුවො ඉන්න තාත්ත කෙනෙක්. පොඩ්ඩක් හිතල මතල කතා කරන්න කියල.

යාළුවො කියන්නෙ,
මචං සුදු වෑන් එකක් එයි පරිස්සමින් ඉඳපන් කියල.

දන්නෙත් නැති උන් කියන්නෙ,
මූට පිස්සු. ඉල්ලන් කන්න හදන්නෙ කියල.

ඉතින් යකුනේ, තමන්ගෙ රට ගැන තමන්ගෙ අයිතීන් ගැන තමන්ට තේරෙන ඇත්ත ගැන කතා කරන්න ඔය තරම්ම බයවෙන්න ඕනෙනම්, ඒ පාලකයව ගෙදර යවන්න තව හේතු ඕනද?

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Monday, December 22, 2014

කළගුණ අමතක නොකරමු!


අපේ රට වසර තිහක් තිබූ යුද්ධයෙන් රට මිදුනේ මහින්ද රාජපක්ෂ යුගයේය. ජාතික ප්‍රශ්නය අවසන් කල යුතුව තිබූ විදිහ ගැන යුද්ධයේ ගෞරවය බෙදී යාම ගැන විවිධ මතිමතාන්තර තිබුනත් යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කල කාර්ය භාරය ගැන පිලිනොගන්නන් අල්පය. උදේ ගෙදරින් ගිය දරුවා යලි නිවසට එනතුරු බියෙන් සිටින තමන් අසල බසයේ වාඩිවී සිටින මිනිසා මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුදැයි මරබියෙන් සිතන රටට වැඩක් කළහැකි තරුණයන් සීල් තැබූ මිනී පෙට්ටි වලින් ගෙදර එන යුගය අවසන් කිරීමට රාජ්‍ය නායකයා ලෙස විශාල කාර්යයක් කල එතුමාට අප කළගුණ දැක්විය යුතුමය. ඒ සඳහා පහත කටයුතු කිරීමට මම යෝජනා කරමි.

ගෝල්පේස් පිට්ටනියේ එතුමාගේ දැවැන්ත ප්‍රතිමාවක් ඉදිකළ යුතුය. එතුමාට ජීවත් වීම සඳහා රජයේ වියදමින් සියලු පහසුකම් සහිත මන්දිරයක් ඉදිකර දියයුතුය. රටේ සම්මානනීය පුරවැසියෙකු ලෙස ජීවත්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජයේ වියදමින් සැලසිය යුතුය. රජය මැදිහත්වී යුධ අපරාධ චෝදනා සම්බන්ධව එතුමාට එල්ලවන චෝදනා වලින් නිදොස් කොට නිදහස්කර ගත යුතුය. තිස් වසරක යුද්ධය අවසන් කල රාජ්‍ය නායකයා වශයෙන් ජාත්‍යන්තරව එම අත්දැකීම් බෙදාගැනීමට රාජ්‍ය අනුග්‍රහය දැක්විය යුතුය. එතුමාගේ උපන්දිනය දවස, යුද්ධය නිම වූ දවස වැනි විශේෂ දිනවලදී සියලු දෙනාම එතුමා වෙතට ගොස් යුද්ධය අවසන් කිරීම ගැන එතුමාට කෘතගුණ දැක්විය යුතුය.

මේ සියල්ලටම වඩා එතුමාට කළගුණ සැළකිය යුතු හොඳම විදිහ නම්: එතුමාට එල්ලවන යුධ අපරාධ චෝදනාවලින් ගලවා ගැනීමට ක්‍රියාකරන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පහරදීමට ඔවුන්ව ඉවත් කිරීමට කිසිවෙකුට ඉඩ නොදීමය. එතුමා විසින් එක් සේසත් කල රට ණය උගුලක් හරහා චීනයට පාවා දීමට කිසිවෙකුට ඉඩ නොදීමය. එතුමා විසින් නිදහස් කරගත් ජනතාව වැඩිවන ජීවන බර හමුවේ යලි පීඩාවට පත්කිරීමට කිසිවෙකුට ඉඩ නොදීමය. යුද්ධය නැවැත්වීමෙන් එතුමා රටට ඉතිරිකරදුන් බිලියන ගණනක මුදල වංචනික ලෙස ගසා කෑමට කිසිවෙකුට ඉඩ නොදීමය. රටේ එක් එක් කොටසේ වෙන වෙන නීති ක්‍රියාත්මක කිරීම අවසන් කරමින් මුළු රටටම එකම නීතියක් යටතට ගෙන ඒමට එතුමා කල කටයුත්ත යලි අවුල් කර නීතිය අතට ගැනීමට අධිකරණය බාල්දු කිරීමට කිසිවෙකුට ඉඩ නොදීමය. බෝම්බ වලින් ළමා සොල්දාදුවන් බවට පත්කිරීමෙන් එතුමා ගලවාගත් අපේ ළමා පරපුර කුඩු එතනෝල් වලින් විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොදීමය. කෙටියෙන් කිවහොත් එතුමා රාජ්‍ය නායකයා වශයෙන් කොටි ග්‍රහණයෙන් ගලවාගත් අපේ රට සහ රටේ අනාගතය විනාශ කිරීම සඳහා කිසිම කල්ලියකට පවුලකට ඉඩ නොදීමය.

කළගුණ සලකන්නේ කෙසේද? තීරණය ඔබ සතුයි...

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Tuesday, December 16, 2014

දේශපාලනේ කන්නද?


"දේශපාලනේ කන්නද?" "ඕකෙන් අපිට ලැබෙන දෙයක් නෑ" "අපි හම්බකරගත්තොත් අපි කනවා" "මහින්ද දිනුවත් මෛත්‍රී දිනුවත් අපිට වෙන සෙතේ මොකද්ද?" මේ දිනවල බොහොම අහන්න ලැබෙන කතා කිහිපයකි. විශේෂයෙන් නිදන්ගත් දේශපාලන උණෙන් පෙලෙන උනුත් චන්දයක් ලංවන විට දේශපාලන උණ ගැනෙන උනුත් කොච්චි ගෑවුනා සේ දඟලද්දී අම්මලා තාත්තලා ගෙදර උන්දලා ඇතුළුව වටෙපිටේ බලන් ඉන්නවුන් කියන්නේ ඔය කතාවය. ඊට අමතරව "මටනම් දේශපාලනේ පෙන්නන්න බෑ", "මම නම් චන්දෙ දාන්න යන්නෙත් නෑ" වැනි කියමන් දැන් තරමක විලාසිතාවක්ද වී ඇත. බැලූ බැල්මට කතාව ඇත්තය. අපි ජීවත් වෙන්නේ අපි හම්බකොරගන්නා එකෙන්ය. මහින්දවත් මෛත්‍රීවත් අපිට කන්න දෙන්න එන්නේ නැත. ඉතින් අපි ඔය චන්දෙට ඕ.ටී දාගෙන දඟලන්න ඕනද? දේශපාලන වශයෙන් සක්‍රිය වීම රටක ජනතාවගේ යුතුකමක් වගකීමක් සේම අයිතිවාසිකමකි. යන්තන් ජීවිතේ ගැටගන්න උදේ හවස මහන්සිවෙන මිනිස්සුන්ට යුතුකම් වගකීම් තියා තමන්ගේ අයිතිවාසිකම් ගැන හොයන්නවත් වෙලාවක් නැත. ඒ නිසා මගේ අරමුණ ඒ ගැන කතා කිරීම නොව දේශපාලනය නිසා "අපි හම්බකරගෙන අපි ජීවත් වෙන " එකට බලපාන්නේ කෙසේද යන්න කතාකිරීමයි.

ඉඳල හිටල එකෙක් දෙන්නෙක් ඇරෙන්න රටේ ජනතාව කවුරුත් පාහේ හම්බකිරීම සඳහා තමන්ට හැකි උපරිමයෙන් වැඩ කර අතට ලැබෙන පඩියෙන් කොහොම හරි රෝල ගැටගහ ගනී. රෝල ගැටගහ ගැනීමට නොහැකි උනොත් රත්තරන් බඩුවක් උගස් තියා හෝ ණයක් වී හෝ ජීවත් වෙයි. පවුලේ වියදම් ණය බර වැඩිවෙන විට හම්බ කරන්න තව මොනවා  හරි කරයි. අමතර අදායම් මාර්ගයක් නැතිනම් පගාවක් ගසා හෝ පවුල රකියි. එම නිසා අපි හම්බකලොත් අපි කනවා කියන සමීකරණය හරියටම හරිය. හැබැයි වරද ඇත්තේ අපි හම්බකරන් අපි කන එකට තවත් බොහෝ දේ බලපාන බව නොසිතීමය. ගෙදර නෝනා උයා පිහා ලෑස්ති කල පසු දවසකට එක වේලක් බල්ලෙක් කුස්සියට හොරෙන් පැන කෑම වේල ගිලදමනවානම් ඔබ හම්බකරන් කන එකට ඒක බලපානවා නේද? මාසේ පොතට බඩු ගන්නා කඩේ මුදලාලි ඔබව රවටා වැඩි ගානක් පොතට දමා බාල බඩුවක් දෙනවානම් ඔබ මහන්සි වී හම්බකරන තරමට ඔබට පරිභෝජනය කරන්න ලැබෙන්නේ නෑ නේද? හැමදාම පඩි පත අරන් ඔෆිස් එකෙන් එලියට එද්දි ගිනි පොලීකරයා මග ඉඳන් පඩියෙන් කොටහක් ඩෑහැගන්නවා නම් ඔබ කොච්චර මහන්සි උනත් අතට ලැබෙන්නේ කොටසයි නේද? ලංකාවේ දේශපාලනයේ ඔබට නොපෙනී ඔබේ කෑම වේල හොරාකන බල්ලන් සිටී. ඔබට නොපෙනී ඔබව රවටන කළුකඩ කාරයන් සිටී. ඔබට නොපෙනී ඔබේ පඩිය මංකොල්ල කන ගිනි පොලීකාරයන්ද සිටී.

අද රටේ නායකයා පාරේ කණුවක් කණුවක් ගානේ ඉඳගෙන විරිත්තන්නේ ඔබ එදා වේල කන්න ගේන පරිප්පු ටිකට හාල්මැස්සෝ ටිකට බදු පිට බදු ගසා එකතු කරපු සල්ලි වලින් නේද? පින්වන්ත කුමාරවරු පාරවල් වසා ලැම්බෝගිනි පදින්නේ ඔබේ මෝටර් සයිකලයට ගහන පෙට්‍රල් ටික එකට එකක් වැඩිකර විකුණා ගන්න සල්ලි වලින් නේද? ගණනින් සියයකට එහා වුනත් වන්දිභට්ට රාජකාරිය ඇරෙන්න වෙන කිසිවක් නොකරන ඇමති මණ්ඩලය උස්මුරුත්තාවට එන්නට ජරාව කා ඊළඟ පාර වටලප්පමට කන්න බලන් ඉන්නේ ඔබේ දරුවාගේ කිරිපිටි එකේ ගාන වැඩිකර එකතු කරගත් මුදල් නේද? එසේනම් ඔබේ කුස්සියට දිනපතා පනින බල්ලා කරන හානියත් ඔබට නොපෙනී ඔබේ බත්පතට තට්ටු කරන මොවුන් කරන හානියත් එකම නොවේද? අතේ සතේ නැතිව දේශපාලනයට ආපු උන් හෙලිකොප්ටර් සල්ලි වලට ගන්නේ පෙර පින නිසාද? එහෙන් මෙහෙට පනින උන් නවත්තන්නත් මෙහෙන් එහෙට පනින උන් මිලදී ගන්නත් කෝටි ගණනින් මළු පිටින් හුවමාරු වෙන්නේ වලව්වේ වත්තේ පොල් කැඩු සල්ලිද? ඒ සියල්ලම කරන්නේ ඔබට සංවර්ධනය පෙන්නා ඔබේ ඉදිරි පරම්පරා කීපයම චීනයට ණයකර බිලියන ගණනින් යටිමඩි ගැසූ මුදල් වලිනි. ඔබට වංචා කරන්න තව කළුකඩ මුදලාලිලා අවශ්‍යද? අවුරුදු පහක් ඔබ දුක්විඳ රට බේරාගත් වීරයාට හිතු හැටියට රටේ සම්පත් පරිහරණය කරන්න දී ණය ගෙවූ පසු ඔබේ බෙල්ල හිරකර තවත් අවුරුදු අටකට පොලිය ඉල්ලන්නේ නම්, මාසෙ පඩිය මංකොල්ලකන ගිනි පොලීකාරයත් ඔහුත් අතර වෙනසක් ඇද්ද?

කුස්සියට පැන්න බල්ලාට පයින් පාරක් දී එලවන ඔබ කඩේ මුදලාලිගේ වංචාවට ගිනි පොලීකාරයන්ගේ අසාධාරණයට එරෙහිව කතාකරන ඔබ, ඊට වඩා දස දහස් ගුණයක් විශාල මෙවැනි ජඩකම් වලට එරෙහිව කතාකළ යුතු නැද්ද? මේවා ඔබට නොපෙනෙනවා විය හැක, නමුත් නොදැනෙනවා විය නොහැක. ඔබේ බිරිඳ සහ දියණිය සාරුවා සුනිල්ලාගෙන් හැංගී ජීවත් වියයුතුනම් රටේ නායකයන්ගේ අතකොළු වු කඳ මිස හිස නැත්තවුන් ඔබේ පුතාට කුඩු පොවන්නට බලා සිටීනම් නීතිය ඉදිරියේ ඔබේත් මගේත් පැත්තට වඩා බලවතුන්ගේ පැත්ත බරනම්, ඔබ හම්බකරන් කැවත් ඔබට ජීවත්විය හැකි වටපිටාවක් තිබේද? කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නොව, ඔබ ඔබ වෙනුවෙන් කතාකළ යුතුය. එසේ නොකරන්නේනම් පසුව මැසිවිලි නගන්නට ඔබට අයිතියක් තිබේදැයි ඔබ ඔබෙන්ම ප්‍රශ්න කළ යුතුය.

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Friday, December 12, 2014

චන්ද කාලේ ඇඩ්ස්


අරලිය සුදු ආප්ප - "නෙත් පාදයි. සිත් පාරයි"

ගණිත චක්‍රවර්තී විමල් සර් - "බෙදිල්ල ඇර ඕන එකක්"

බර්බරි බ්‍රිට් - "කුමන්ත්‍රණ පරදන්න කියාපු ඇඳුම්"

පිලාස් ජිම්නාස්ටික් - "එහෙට මෙහෙට දෙකටම සීයයි."

මැදමුලන එක්ස්චේන්ජ් - "පරණ එකට අලුත් එකක්"

අයි.ටී.එන් වේස්ට් මැනේජ්මන්ට් - "කප්පරක් කුණු තප්පරෙන්"

නව තිස්ස අවමංගල අධ්‍යක්ෂකයෝ - "විසි වසරක අත්දැකීම. අලුත් තැනක. පරණ විදිහට."

මෛත්‍රී ප්‍රින්ටර්ස්  - "පොරොන්දු පත්‍ර මුද්‍රණයේ ප්‍රමුඛයෝ"

සැටලයිට් රෙක්රූට්මන්ට්ස් - "ලොකු පොඩි සැමට ඇබෑර්තු ඇත. ජනවාරි 8ට පෙර අයදුම් කරන්න"

සිරිකොත ඉන්වෙස්ටර්ස් - "අවදානම් රහිත ආයෝජනයක්"

වාසු ඉන්ෂුවරන්ස් - "සැඳෑ සමයට සැනසිල්ලක්"

ජොනී පෙට් ෂොප් - "ඕනෑම් වර්ගයක හීලෑ බලු කුක්කෝ"

ඥානසාර ලර්නර්ස් - "U ටර්න් එක්ස්පර්ට්ස්"

අනුර ගුරුන්නාන්සේ - "අත්දුටුවයි සත්තයි. ප්‍රතිපල ගැන වගකියනු නොලැබේ"

පාඨක ප්‍රතිචාර:

රාජිත ඩෙන්ටල් ක්ලිනික් - "හෙමින් හෙමින් - දතින් දත" (Madhumadhavi Poetry)

පාඨලී කොන්ත්‍රාත්කරුවෝ - "නාය යවන්නත් පුළුවන් නායෙන් කෑල්ලක් ආපහු යවන්නත් පුළුවන්" (විචාරක - Wicharaka)

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Thursday, December 11, 2014

මිථ්‍යාදෘෂ්ටිය



හරිද නැකත
අත්සන් කරන්නද
ඔන්න මිරිකුව බෝලේ
දැපනෙ වැටෙයි නේද ඔක්කොම
සුමනේ සුමනේ
මාර වැඩේ
කොමා ඉන්නේ වැරදි පැත්තට
මම යන්නම් පිටිපස්සෙන්
මූණ දාල සුබ පැත්තට
ඔන්න වැඩ ඔක්කොම තියල
යනව තිරුපති කියපු විදිහට
ඉන්දියාවෙ දෙවියෙක්නේ බං
සලකයිද ලංකාවෙ එකෙකුට
පඬුරු ළඟ දෙයියොත් නැමෙයිනේ
චීනො ළඟ අපි නැමෙන විදිහට
අනේ තැන්ක්යූ සුමනෙ
උඹල නැත්නම්
කොහොම ගෙනියන්නද මේ රට
ආසියාවේ ඈස්චර්යට

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Wednesday, December 10, 2014

උතුමාණන්ගෙන් කෝල් එකක්


හෙලෝ දසේ
හෙලෝ හෙලෝ කවුද මචං
මම මම බං
මම කියන්නෙ
ඒක වැඩක් නෑ මචං
පොඩි වැඩකට කතා කලේ
ඕකේ ඕකේ කියපන් මචං...

දැන් කාලෙකට කලින් මචං
ලංකාවෙන් කෑල්ලක් සෙට් එකක් අල්ලන් හිටියනේ මචං
අපි මහන්සිවෙලා ඒක බේරලා දුන්නනෙ බං
හ්ම් හ්ම්
ඊට පස්සෙ අපි රට විනාස කලා තමයි මචං
ඒ උනාට රට එක් සේසත් කලේ අපිනෙ බං
ඉතින්
ඒක නිසා ආයෙත් රට අපිට දියන් මචං

මම දන්නව උඹ සොරි සොරි ඔබතුමා කවුද කියල...

ඒ විතරක් නෙමේ මචං
දැන් උඹල ෆුල් ජොලියෙ රට වටේ යන්නෙ අපි නිසානෙ බං
අපි කොච්චර නම් පාරවල් හැදුවද මචං
හ්ම්... හ්ම්...
ඒවා හැදුවේ අපේ වාසියට තමයි මචං
ඒ උනාට අපි තරම් කවුරුවත් මේ රටේ පාරවල් හැදුවෙ නෑනේ බං
ඉතින්...
ඒක නිසා ආයෙත් රට අපිට දියන් මචං

මම කියන්ඩද ඔබතුමා කවුද කියල...

අපි ආගම ධර්මෙ රකිනව කියල පොරොන්දු උනානෙ මචං
පරණ වෙහෙර විහාර එහෙම එලිපෙහිලි කරලා ගත්තෙ අපිනෙ බං
හ්ම්... හ්ම්...
අපි රට පුරා සුරාව සුදුව පැතිරෙව්ව තමයි මචං
ඒ උනාට අපේ කාලේ දාගැබ් කීයක්නම් ප්‍රතිසංස්කරණය කලාද බං
ඉතින්...
ඒක නිසා ආයෙත් රට අපිට දියන් මචං

අනේ ඔබතුමා, කොච්චර සතුටුද කතාකළ එකට...

මොනව නැතත් උඹලට රජෙක් හිටියනෙ මචං
ඒ රාජ තේජස, කුමාරයන්ගෙ වීරකම් අහල උඹල කොච්චර සතුටු උනාද බං
හ්ම්... හ්ම්...
උඹලට බදු පිට බදු ගහල අපි නැතිවෙන්න වියදම් කළා තමයි මචං
ඒ උනාට රජෙක් ඉන්න එක කොච්චර ආඩම්බරයක්ද බං
ඉතින්...
ඒක නිසා ආයෙත් රට අපිට දියන් මචං

දැන් නම් හරි
ආයෙ දෙකක් නෑ
ඔබතුමා මහින්ද රාජපක්ෂ නේද?

පිස්සුද බං
මම චාල්ස් කුමාරය!

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Tuesday, December 09, 2014

විකිණෙනු ලැබේ!


අනික් ඉවුරේ සිට
සියැසින්ම දුටු හෙළුව
කහවනුවල බරට
සීතම්බර පටින් වැස
නොපෙනෙන හැටි...

දෙඅතින්ම අනමින්
තලි පිටින් ගැසූ මඩ
කඳුළු වලින් සෝදා
ඇඳිවත උනා
පිස දමන හැටි...

නැති ගුණත් වයා
ඔසවා තැබූ පිළිරූ
දිව නොපිට තබමින්
ඇති හොඳත් මකා
බිම ඇද දමන හැටි...

වරක් දෙවරක් නොව
යලි යලිත් රැවටෙනා
බුද්ධිමත් ජනතාව
මේ විගඩම් බලා
අත්පුඩි තලන හැටි...

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Monday, December 08, 2014

ගොබෙල්ස්ලා ඇවිත්



මීට පෙර මැතිවරණ හා සසඳන විට මේ චන්දයේදී ආණ්ඩුව ප්‍රබල සටන් පාඨ හිගයකින් පෙලේ. මහින්ද හා සටනට රනිල් පැමිණෙනු ඇතැයි සිතා තැනූ ටෙලි නාට්‍ය, මුද්‍රණය කල පෝස්ටර්, බටලන්ද හොර ගිවිසුම් වැනි සටන් පාට කිසිවකින් මේ වන විට වැඩක් ගන්නට නොහැක. වෙනකක් තියා පාර්ලිමේන්තු සම්ප්‍රදායේ වැදගත්ම අවස්ථාවක් වන අයවැය කතාව පාවිච්චි කරමින් ප්‍රසිද්ධ කරන්නට හැදූ බයියා - ටොයියා සටන් පාඨයද කුණු කුඩයට දමන්න සිදුවුයේ මෛත්‍රීපාල යනු මහින්දටත් වඩා ගැමියෙකු බයියෙකු වූ නිසාය. දෙමළ ඩයස්පෝරාව විදුලි පුටුව වැනි දේවල් මහජනයාට ගිල්වන්නට හැදුවත් හෙළ උරුමය පොදු අපේක්ෂකයා සමග එකවීමත් සමග මේවායේ වලංගුභාවය ගැන විශ්වාස කරන පිරිස අල්පය. මේ නිසා ආණ්ඩුව වාද විවාද සංවාද අතහැර ඔළු සුද්ද කිරීමේ ව්‍යාපාරයකට අතගසා ඇත.

රටේ සියලුම පත්තරවල මුල් පිටු මිලදී ගනිමින් වසර පහකට පෙර පළවූ සිරස්තල නැවත පළකිරීම, රට පුරා ලයිට් කණුවක් නෑර හිනැහෙන මහින්ද රාජපක්ෂගේ මුහුණත් තහඩුව, රාජ්‍ය ආයතනවල වියදමින් ඔහුගේ ගුණ ගයමින් පලවන දැන්වීම්, හිරිකිතයක් නැතිව අමු අමුවේ ආණ්ඩුවට කඩේ යන රාජ්‍ය මාධ්‍ය, දේශපාලන සංවාද වලදී උමතුවී හැසිරෙන රජයේ දේශපාලකයන්, මේ සියල්ල අපිට කියන්නේ ගොබෙල්ස්ලා නැවත පැමිණ ඇති බවයි. ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය මට පෙනෙනා විදිහට තුන් ආකාරයකට ක්‍රියාත්මක වේ. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය ඉහල නැංවීම, මෙත්රීපාල සිරිසේනගේ අඩුපාඩු හුවා දැක්වීම සහ ආණ්ඩුවේ වැරදි ගැන ප්‍රශ්ණ කිරීම වලක්වීමයි. මින් පළමු කරුණු දෙක ඕනෑම දේශපාලන ප්‍රචාරණ යාන්ත්‍රණයකට පොදුවුනත් ප්‍රේමදාස යුගයත් පරදවිමින් ආණ්ඩුව මේ මැතිවරණයේදී තම අපේක්ෂකයා උඩ දැමීම සඳහා මහජන මුදල් කෝටි ගණන් නාස්ති කිරීමටත් විවිධාකාර පහත උපක්‍රම වලින් විරුද්ධ අපේක්ෂකයාගේ චරිතය ඝාතනය කිරීමටත් පටන්ගෙන ඇත. අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන්නට සල්ලි නැති ජාතියේ පියා බිලියන ගණන් වියදම් කර කටවුට් පෝස්ටර් ගසන්නේ මිනිසුන්ගේ බුද්ධිය මගහැර හදවතට කිඳා බැසීමේ අරමුණෙනි. රජයේ ඉහලම නිලධාරියාගේ සිට නැතිවූ මැලේසියන් ගුවන් යානය දින දාහතරෙන් සොයාදුන් චන්ද්‍රසිරි බණ්ඩාර දක්වා පිරිස ආණ්ඩුව පාවිච්චි කරන්නේ පොදු අපේක්ෂකයාගේ විවිධ අඩුපාඩු හුවා දැක්වීමටය. රජයේ මාධ්‍යවල මේ දිනවල වැඩිම ඩිමාන්ඩ් එකක් ඇත්තේ වීඩියෝ එඩිට් කරන්නනටය. අනික් පැත්තේ වේදිකාවල කියන කතා හොඳට කපාකොටා කී දේට හාත්පසින් විරුද්ධ අදහසක් එන විදිහට සකස් කිරීමට හැකිනම් ජනවාරි අටවෙනිදා වෙනකල් ඇතිතරම් වැඩ ඇත.

නමුත් මේ සියල්ලටම වඩා භයංකර තත්වය වන්නේ මහින්ද රාජපක්ෂගේත් රජයේත් අඩුපාඩු ප්‍රශ්න කිරීම වලක්වාගැනීමට ඔවුන්ට ඇති උවමනාවයි. පොදු අපේක්ෂකයා සහභාගී වන සටන වැඩසටහන ඩයලොග් හා පියෝ ටීවී වලින් බ්ලොක් කරන්නේත් පවිත්‍රා වන්නිආරච්චි සංවාද වලදී යකනටන්නේත් බන්දුල ගුණවර්ධන මාතෘකාව පසෙක දමා සැහෙන වෙලාවක් රටේ ඉතිහාසය ගැන කතාකරන්නේත් මහින්දානන්ද විවාදයෙන් නැගිට යන්නේත් නිමල් සිරිපාල බීබීසී මාධ්‍යවේදියා ප්‍රශ්නයක් ඇසූ විට කඩිමුඩියේ මාධ්‍ය හමුව අවසන් කරන්නේත් වෙන කිසිවක් නිසා නොවේ, ප්‍රශ්ණ කිරීමෙන් වැලකීමටය. ජනාධිපතිතුමා හොරුන්ගේ ෆයිල් සඟවාගෙන සිටීමට හේතුව, කිලෝමීටරයකට මිලියන දෙකක් වැයවන පාරක් හැදීමට කිලෝමීටරයකට මිලියන දහසයක් වැයවීම, මෙදා පාර බඩ පිරෙන්නම කා ලබන පාර අතුරුපසට වටලප්පම් කන්න බලන් ඉන්න හැටි වැනි දෑ ඇසුවිට දෙන්න උත්තර නැත. ඒ නිසා ජනවාරි අටවෙනිදා වෙනකල් මේවට උත්තරදීම මගහැරියයුතුය. ඒ වෙනුවට නිතර දෙවේලේ යුධ ජයග්‍රහණය ගැන කියමින් මහජනයාව කලගුණ සැලකීමේ මානසිකත්වයට පොළඹවා එහි හිරකර තබාගත යුතුය. ඒ සඳහා විවාද සඳහා විවිද හේතු දක්වා සහභාගී නොවීම, බොරුවට කෑ ගසමින් විවාද අවුල් කිරීම සහ විවාද වලින් නැගිට යාම වැනි විවිද උපක්‍රම අත්හදා බලමින් ඇත. නමුත් මෙම ප්‍රශ්න කිරීම දැන් වාද විවාද වලින් ඔබ්බට මහජනයා අතරට පැමිණ ඇත. එය මර්දනය කිරීම සඳහා වෙබ් අඩවි වාරණය තවත් දරුණු කිරීම, ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාලා වාරණය කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම සිදුවිය නොහැක්කක් නොවේ. එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවාසිදායක ප්‍රතිපලයක් ලැබෙන බව හැඟෙයිනම් එතැනින්ද නොනැවතී ප්‍රශ්ණ කරන්නන් ඍජුව මර්දනය කිරීමට ආණ්ඩුව පසුබට නොවෙනු ඇත. ඒ කෙසේ වෙතත් තොරතුරු හුවමාරුව සීමිත මාධ්‍ය කිහිපයකට සීමාවූ යුගයේ ගොබෙල්ස්ලා මොළ සේදුවත් තොරතුරු දැන ගැනීමේ එක මගක් වසනා විට තව මගවල් දහයක් විවර වන මේ යුගයේ එය එතරම් ලෙහෙසි නොවනු ඇත.

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Friday, December 05, 2014

ආඩම්බරකාර අපේ තාත්තා


අපේ තාත්තා හැමදාම සෝමෙ මාමගේ පොට් එකට ගිහින් හොඳටම බොනවාය.
අපේ අම්ම නම් කියන්නේ අපිට වේලක් ඇර වේලක් හරි කන්න දෙන නිසා කමක් නෑ කියාය.
තාත්තා බිව්වෙ නැත්නම් අපිට වේල් තුනම කන්න තිබුණ නේද අම්මෙ?

අපේ තාත්තා බීගෙන ඇවිත් හැමදාම අම්මටයි මටයි තඩිබනවාය.
අපේ අම්ම නම් කියන්නේ අල්ලපු ගෙදර චන්දරේගෙන් තිබුන කරදරේ හැටියට මේක දාහෙන් සැපයි කියාය.
චන්දරෙත් නැති එකේ තාත්ත අපිට ආදරෙන් සලකුවනම් මීට වඩා සන්තෝසෙන් ඉන්න තිබුන නේද අම්මෙ?

අපේ තාත්තා පොලී මුදලාලිගෙන් ණයට සල්ලි අරන් රේස් ඔට්ටු දමා සැහෙන ගානක් පරදිනවාය.
අපේ අම්ම නම් කියන්නේ ණයට ගත්තු සල්ලිවලින් ගෙදරට ගත්තු පුෂ් බයිසිකලේ හරි ඉතුරුයිනේ කියාය.
තාත්ත සල්ලි නාස්ති කරේ නැත්නම් අපට කාරෙකක් ගන්න තිබුණ නේද අම්මෙ?

අපේ තාත්තා මට බස් එකට සල්ලි නැති නිසා පයින් යන්න කියා අයියාට අයිස්කිරිමක් ගන්න සල්ලි දුන්නේය.
අපේ අම්ම නම් කියන්නේ මේ වගේ සැප ලබන්න අයියා පෙර පින්කර ඇති කියාය.
මම පවු කරලද? මමත් තාත්තගෙම පුතෙක් නේද අම්මෙ?

අපේ තාත්තා අයියා එක්ක රණ්ඩු උනා කියා මට විතරක් හොඳටම ගැහුවේය.
අපේ අම්ම නම් කියන්නේ පොඩි එකා උනාම හරියට ඉන්න දැනගන්න ඕන කියාය.
පොඩි එවුන්ට විතරක් දඬුවම් කලාට ලොකු එවුන් කරන වැරදිත් වැරදිම නේද අම්මෙ?

අපේ තාත්තා අපේ ඉඩකඩම් වලින් වැඩි හරියක් පාලනය කරන්න දී තිබෙන්නේ අපේ බාප්ප්ලාටය
අපේ අම්ම නම් කියන්නේ වතුරට වඩා ලේ ඝනකම්නෙ පුතේ කියාය
සහෝදර කම කියල අපේ දේවල් බාප්පලාට හිතු විදිහට නාස්ති  කරන්න දෙන එක හරි නෑ නේද අම්මෙ ?

අපේ තාත්තා බොරු චන්ඩි පාට් දාන්න ගිහින් පොලී මුදලාලි ඇරෙන්න මුළු ගමම එක්ක තරහය
අපේ අම්ම නම් කියන්නේ තාත්ත සිංහයෙක් වගේ ඉන්න නිසා මොකා තරහ උනත් අපිට මොකෝ කියාය
එලියට බහින්න බයේ ගේ ඇතුලට වෙලා සිංහ නාද දැම්මට සිංහයෙක් වෙන්නේ නෑ නේද අම්මෙ?

අපේ තාත්තා කරන කියන දේවලට මටනම් දැන් තිත්තම තිත්ත වෙලාය.
අපේ අම්ම නම් කියන්නේ මොනව උනත් උඹලගෙ තාත්තනේ කියාය.
නියම තාත්තල දරුවන්ට මෙහෙම සලකනවද? මේ වගේ උනුත් තාත්තලද අම්මෙ?

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Wednesday, December 03, 2014

ජනපතිවරණ සිහින සාප්පුව


අකලට පීදුනත් මේ ජනාධිපතිවරණය සිහින සාප්පුවකි. මේ මල්වට්ටිය කරේ තියන් යන සහ මල්වට්ටියට අතගහන සියලු දෙනාටම සිහින ඇත. ඒ හැමටම තමන්ට අවැසි සිහිනය ජනවාරි අටවෙනිදා වෙනතෙක් දකින්න විඳින්න පුළුවන් උනත් සැබෑවන්නේ කිහිපදෙනෙකුගේ සිහින පමණි. අනික් අයට සිදුවන්නේ තවත් අවුරුදු හතරකට අටකට හෝ ජීවිත කාලය පුරාවටම "මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න" කියා සිහින දැක දැක්ම ඉන්නටය.

මේ ජනාධිපතිවරණය කරලියට එන්නේම ජනාධිපතිතුමාගේ මැරෙනතුරා බලයේ ඉඳීමේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණෙන්ය. එය සැබෑවෙයිද තිබුණු අවුරුදු දෙකටත් කෙලවෙයිද කියා අපිට දැනගන්න ලැබෙන්නේ අටවෙනිදායින් පසුවය. බැසිල්ගේත් ගෝඨාභයගේත් සිහින මොනවාදැයි හරියටම පැහැදිලි නැතත් ඒවා නාමල් බේබිගේ සිහින සමග නොපෑහෙන බවනම් පැහැදිලිය. මේ සිහින කොතරම් පැටලී ඇද්ද කියනවානම් ගෝඨාභයගේ සිහිනය වෙනුවෙන් ගොඩනැගූ බොදුබල සේනාව නිසා මහින්දගේ සිහිනය බිඳී යන ලකුණු පහළවී ඇත. මොනවා උනත් රාජපක්ෂ පවුලේ සියලුදෙනාම තම තමන්ගේ සිහින පසෙක දමා මහින්දගේ සිහිනය වෙනුවෙන් වැඩ කලයුත්තේ ඒ සිහිනය සැබෑ නොවුනොත් බාප්පලාගේ ලොකු බෙබිලගේ ලොකු ලොකු සිහිනවලට පමණක් නොව චූටි බෙබිලාගේගේ අභ්‍යාවකාශයට යෑම නාවික හමුදාපතිවීම වැනි අහිංසක හීන වලටද වෙනදේ හිතාගන්නත් බැරි නිසාය.

මෛත්‍රීපාල ශ්‍රී ලංකා එක අතහැර දමා යන්නට මූලික හේතුව ඔහුගේ අගමැති සිහිනය කවදාවත් සැබෑ නොවන බව තේරුම් යාම නිසාය. දැන්නම් ඔහුටද ඊට එහා ගිය ලොකු ලොකු සිහින ඇත. ඒවායේ සීමාව දන්නේ ඔහුම පමණි. ඩඩ්ලි ඇතුළු ඔහුගේ සහෝදරයින් දොළොස්දෙනාගේ හීනය තම සොහොයුරා ජනාධිපති කරවීමලු. ඒ හීනය එතනින් නතරවන්නේනම් හොඳය. නැත්නම් රාජපක්ෂ සමාගම දී සිරිසේන සමාගම ගත්තා වගේ කියා ප්‍රස්ථා පිරුලක් හදෙනු ඇත. කොහොම උනත් මෛත්‍රීපාලගේ හැරයාම නිසා සිරිපාල උන්නැහේනම් තව දශමයකින් විතර අගමැති සිහිනයට ලංවී ඇත. එහෙත් එය හැමදාම සිහිනයක්ම පමණක් බව ඔහුත් දනී අපත් දනී. ජනක බණ්ඩාර, රෙජිනෝල්ඩ්, ජොලි සීයා ඇතුළු ශ්‍රී ලංකා කාරයින් අවුරුදු දහයක් තිස්සේ දුටු නපුරු සිහිනයෙන් එළියට එන්න හැදුවත් මුදල් සහ ෆයිල් විසින් වැඩේ කේස් කර ඇත. ජොනී, එතනෝල් ලක්ෂ්මන් ඇතුළු හොරුන්ගේ සිහිනනම් සැබෑවුයේ මහින්දගේ දෙවෙනි කාර්තුව පටන්ගත් දවස්වලමය. දැන් ඔවුන්ට තියෙන්නේ සැබෑවූ සිහිනය යලිත් සිහිනයක්ම වෙයිදෝ කියන බියය. රජවාසල කවටයා වන විමලේට ඇත්තේ එදාවේල සරිකර ගැනීමේ සිහිනයයි. ඔහුත් ඔහුගේ රාවණ බලකායත් මියෙම්වා හෝ රැකෙම්වා කියා ස්වාමියාගේ දෙපතුලටම වී හිඳියි. ගම්වල ඉන්නා ශ්‍රී ලංකාකාරයන්ටනම් ලොකු සිහින නැත. බඩට බත් නැතත් ඔවුන්ගේ ආණ්ඩුවක් තියන නිසා ඔවුන් සිහින සැබෑවූවායැයි සිතාගෙන සිටිති.

රනිල්ට ඇත්තේ මැරෙන්නට පෙර රටේ නායකයාවීමේ සිහිනයයි. මංගලලා විමල්ලා විසින් ඔහුගේ චරිතය යලි ගොඩනැගිය නොහැකිලෙස විනාශකර ඇති බැවින් රටේ ජනතාවගේ චන්දයෙන් එතනට යාම සිහිනයක්ම බව ඔහු දනී. එනිසා මෛත්‍රීපාල හරහා ජනතාව බයිපාස් කිරීම රනිල්ගේ සිහිනයයි. සජිත්ගේ සිහිනය කලින්ම එලියට දැමීම නිසා වඳ පීදී ඇත. ඒක නිසා ඔහුට සුපුරුදු පරිදි නකුට දෙපරන්දේ ගසාගෙන වැල යන පැත්තට මැස්ස ගැසීම හැර වෙන කරන්න දෙයක් නැත. යූ.ඇන්.පී එකේ මන්ත්‍රීලා මහින්ද අමරවීර කියූ පරිදි උන් නැවත්වූ තැනින් කන්න පටන්ගන්න සිහින දකින අතර ගමේ යූ.ඇන්.පී කාරයා සිහින දකින්නේ නැතිවූ සිවිල් බලය යලි ලබාගෙන ගමට ලොක්කා වීමටය. චන්ද්‍රිකාට ඇති එකම සිහිනය තමාගේ පවුලේ බුදලයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමාව එලවූ රාජපක්ෂලාගෙන් පලිගැනීමයි. ඒ සඳහා ඕනෑම කෙනෙක් සමහ එක්ව සිහින දැකීමට ඇය සූදානම්ය. මේ අනුව බලන කල ඇගේ හොඳම සිහින සගයා ජෙනරාල් ෆොන්සේකාය. මොකද ඔවුන් දෙදෙනාගේම සිහිනය එකක්ම බැවිනි. මහින්ද සමග දිගටම හිටියොත් ඔහුත් සමගම තමන්ගේ සිහිනයත් වලපල්ලට යනබව හෙළ උරුමය දනී. ඒ නිසා දැන් ඔවුන්ගේ සිහිනය මෛත්‍රීගේ දෙපාමුල පුදා ඇත. ඒ සඳහා ටී.එන්.ඒ එකේ මුස්ලිම් කොන්ග්‍රසයේ සිහින බාධාවක් නොවන බව කලින්ම කියන්නට ඔවුන් පරිස්සම් වී ඇත. ජේ.වී.පී එක සිහින දකින්න ආසය, එහෙත් බයය. මීට පෙර කිහිප වරක්ම මැවු සුබ සිහින බිඳ වැටීම නිසා මෙවර සිහින මැවුවත් නොමැවුවාසේ සිටීමට ඔවුන් ප්‍රවේසම් වී ඇත.

මේ සියලු දෙනා දහසකුත් එකත් විකාරරූපී සිහින දකිද්දී, රටේ මහජනයාට ඇත්තේ තමන්ගේ මහන්සියෙන් හම්බකරන් ජීවත් වෙන්න පුළුවන් හොරකමින් දුෂණයෙන් තොර සාධාරණ සමාජයක්, සැමට එකසේ බලපාන නීතියක් සහ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් වැනි සරල සිහින කිහිපයකි. ඒ සිහින සැබෑවීම වෙනුවට ඔවුන් නිදහස ලැබූදා පටන්ම නපුරු සිහිනයක් දකිමින් සිටී. කලින් කලට සුබ සිහින දකින්නට සිහින දකිමින් චන්ද පාවිච්චි කලත් එන්න එන්නම සිහිනය භයංකාර වනවාමිස ගොඩයාමක් නම් නැත. සිහින සැබෑවන්නේ කැපවීමෙන් නම් තමන්ගේ සිහින දේශපාලනඥයන් වෙත බාරදී නොසිට ඒවා සැබෑ කරගැනීම සඳහා ජනතාව සක්‍රියව දායක විය යුතුය. නැත්නම් ඒ සිහින සදහටම සිහිනම වෙනු ඇත.

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Monday, December 01, 2014

බයියාගේ ඉලෙක්ෂන් කවි


සුමනේ ගෙන්නලා ඇහුවා සාස්තරේ
ග්‍රහයෝ ටොපේ ටොප් බැලුවම කේන්දරේ
ඉතිරිව දෙකක් තිබුනත් තව මෙදා සැරේ
තව ඉනිමකට යන්නයි මම ප්ලෑන් කරේ

මහින්ද බෝඩ් ගැහුවා අඩියෙන් අඩිය
බෙදුවා බෙදිල්ලක් හැමටම බෑ නොකිය
අරලිය දන්සලේ තුන්වේලම රෙඩිය
ඕපන් කෙරිලි ඕසෙට දවසත් මදිය

මමනම් ඇවිත් දැන් ඉන්නේ වළල්ලට
කෝ පොද්දා එන් නැත්තේ බයද මට
ඔය මොන එකා ආවත් මට කෙළින්නට
චන්දත් වැඩද මැදමුලනේ මහින්දට

ආප්ප කාල ගිය මගෙ ලේකම් මයියා
ගැහුවා කරණමක් වෙන්නට පොදු ටොයියා
දැක්කම ඉන්න සෙට් එක වටකර ගොයියා
පොඩ්ඩක් විතර බයවී ඇත මේ බයියා

වැල ඕපන් එතනින් නැහැ නතර උනේ
දත් දොස්තරයි තව ඩබලක් පනිනු පෙනේ
රතනෙයි චම්පිකයි හෙලයොත් ගියා අනේ
දැන්නම් සොහොන් ලකුණුත් ඉඳ හිටල පෙනේ

මල්ලිල දෙන්න ඇර වෙනකෙක් ෂුවර් නැත
යන්තම් අහක බැලුවොත් මුන් පනිනු ඇත
කෝටි දෙක තුනක් මිට මොලවලා අත
"යන් නෑ" කියල කියපන් මීඩියා වෙත

කිව්වේ ෆයිල් ගැන මුන් බය කරගන්ඩ
ඒකෙන් ගහනවා දැන් මට නැතිවෙන්ඩ
විමලේ මෙහෙ වරෙන් මේකෙන් බේරෙන්ඩ
කුමන්ත්‍රණේ ගැන නිතරම මතුරන්ඩ

ජනතාවගේ ඔළු ගෙඩි කිරි මැටි වේවා
වංචා අමතකව කලගුණ සිහි වේවා
ගොයි ටොයි හවුලෙ උන් ටික මකබෑ වේවා
මැරෙනාතුරුම මම මෙහි මහරජ වේවා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Thursday, November 27, 2014

ඇයි අපි මේ පාරත් මහින්දටම දෙන්න ඕනේ?


මේකට බොහොම බුද්ධිමත් උත්තරයක් ආණ්ඩුවේ කළමනාකරණය ආපදාවට ලක්කරන ඇමතිතුමා වන මහින්ද අමරවීර මැතිතුමා කියල තිබුන. ඒ "අපේ කට්ටිය දැන් හොඳට ගහල ඉන්නේ, අරුන් ආවොත් ආයෙත් මුල ඉඳන් ගහන්න ගනියි. ඒක නිසා අපිටම දෙන්න" කියලා. මේක අහපු වෙලේ ඉඳන් අනික් මැති ඇමතිතුමලත් එතුමන්ලාගේ බුද්ධිය විදහා දක්වන්න පොරකනවා. මෙන්න ඒවායින් කීපයක්. පුළුවන් නම් කියමු බලන්න කවුද මේ මැති ඇමැතිතුමාල කියලා.
"අපි  ලංකාවට ඇති තරම් කුඩු බෙදනවා. අරුන් ආවොත් වැඩිපුරත් එක්ක බෙදයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි ස්කාගාර කීපයක්ම දාල එතනෝල් වලින් අරක්කු හදනවා. අරුන් ආවොත් මෙතනෝල් වලිනුත් අරක්කු හදයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි සමාජවාදී චීනෙට රටෙන් බාගයක් විතර උගස් කරලා තියෙන්නේ. අරුන් ආවොත් අධිරාජ්‍යවාධී ඇමරිකාවට ඉතුරු බාගේ උගස් කරයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපේ මිහින් එයාර් වගේ එව්වා බිලියන පොඩ්ඩක් පාඩු වෙනව තමයි. ඒ වුනාට අරුන් ආවොත් මෙත්ත එයාර් වගේ එකක් දාල පාඩුව ඩබල් කරයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි අපිට විරුද්ධ මාධ්‍යවේදියෝ ඔක්කොම ටික අතුරුදහන් කරල තියෙන්නේ. අරුන් ආවොත් අපිට හිතවත් මාධ්‍යවේදියෝ ටිකත් අතුරුදහන් කරයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි මේ ණය වෙලා වෙලා හම්බන්තොට වරායකුයි ගුවන් තොටුපලකුයි හදල ඉවරවුනා විතරයි. අරුන් ආවොත් පොලොන්නරුවෙත් වරායක් හදන්න හදයි. ඒක නිසා අපිටම දෙන්න, නැද්ද හාමුදුරුවනේ?"
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Wednesday, November 26, 2014

පොදු අපේක්ෂකයාට ප්‍රශ්න පහක් සහ උත්තර දහයක්

01. ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇයි?
වැරදි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට සෞඛ්‍ය ඇමතිකම හරියට කරගෙන යන්න දුන්නේ නෑ. මට ගොඩක් හිරිහැර කළා. මම ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ. මගෙන් මහවැලි ඇමතිකම උදුරගත්ත දවසේ තමා මට මේ ආණ්ඩුව එපා උනේ.
හරි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඔහුගේ සහෝදරයන් සහ ගෝලබාලයන් මේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයමින් ඉන්නවා. රටේ යහපාලනය බිඳවැටිලා, වංචාව දූෂණය ඉහවහා ගිහිල්ලා. අපේ රට අන්තර්ජාතික වශයෙන් හුදකලා වෙලා. මේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ස ජයග්‍රහණය කලොත් මේ රට මිලිටරි පාලනයකට යටත් වන බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිවන බවත් මට තේරුණා. මේ අපිට ලැබෙන අවසාන අවස්ථාව. එක නිසයි මම තිබුන තනතුරුත්, දෙන්න හැදුව තනතුරුත් අත ඇරලා රට වෙනුවෙන් ඉදිරිපත් උනේ. මොන දේ කරන්නත් රට ඉතුරු වෙලා තියෙන්න ඕනනේ.

02. ඔබ ජනාධිපති වූ විගස කරන්නේ කුමක්ද?
වැරදි උත්තරය: මම රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති කරනවා.
හරි උත්තරය: අපේ පළවෙනි කාර්යය තමයි මේ රටේ යහපාලනය නැවත ස්ථාපනය කරන එක. ඒ සඳහා ප්‍රධානම බාධකයක් වෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. පළවෙනි දින සීය ඇතුලත එම කාර්යය ඉටු කිරීම සඳහා අපි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරලා ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා. එම දින සීය සඳහා සියළුම පක්ෂ එකතුව භාරකාර රජයක් පිහිටවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම ජනාධිපති නිසා අනික් විශාලම පක්ෂය වන එකසත් ජාතික පක්ෂයේ නායක තුමාට භාරකාර රජයේ අගමැතිකම් දිය යුතුයි කියල තමා මම හිතන්නේ. ඒ වගේම අනික් පක්ෂ වලටත් භාරකාර රජයේ වගකිවයුතු තනතුරු දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.දින සීය ඇතුලත ව්‍යවස්ථා වෙනස්කම් කිරීමෙන් අනතුරුව මහා මැතිවරණයක් කැඳවීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ජනතාවට පුළුවන් සුදුසු ආණ්ඩුවක් අගමැතිවරයෙක් තෝරාගන්න.

03. ඔබගේ ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ භූමිකාව කුමක්ද?
වැරදි උත්තරය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණයකල බණ්ඩාරනායක උරුමය තියෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ළඟ. එතුමිය මෙහි විශාල කාර්යභාරයක් කරනවා. (මක්‍රෆෝනය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට)
හරි උත්තරය: මේ කටයුත්තෙදි එතුමිය අපිට විශාල සහයෝගයක් දෙනවා. කෙසේවෙතත් එතුමිය අප පිහිටවන ආණ්ඩුවේ කිසියම් තනතුරක් ලබාගැනීමට හෝ ක්‍රියාකාරීව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. (චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මාධ්‍ය අමතන්නේ නෑ)

04. කෝ ආණ්ඩුවෙන් එනව කියපු කට්ටිය?
වැරදි උත්තරය: හොඳ හොඳ  සෙල්ලම් එළිවෙන ජාමෙට.
හරි උත්තරය: අපි ආරාධනා කරනවා ආණ්ඩුවේ ඉන්න අයටත් අනික සියලු දෙනාටත් අපි එක්ක එකතු වෙන්න කියල. ඒ වුනාට මේ වැඩ පිළිවෙල මම හෝ තව පුද්ගලයන් කිහිපදෙනෙක් මත රඳා පවතින දෙයක් නෙමේ. මේක ජනතාවගේ වැඩපිළිවෙලක්. එක නිසා අපි සියලු දෙනාම එකතුවෙලා මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරන්න ඕන.

05. ඔබගේ සහෝදරයන්ට එල්ලවන සහල් මාෆියාව වැලිගොඩ දැමීම වැනි චෝදනා ගැන ඔබ කියන්නේ කුමක්ද?
වැරදි උත්තරය: මොන මාෆියවක්ද එහෙනම් මම ඒ පැත්තේ ඉද්දි ඕව කියන්න එපැය. ඔය මාෆියාවේ ඉන්නවා කියන අනික් කෙනා තාම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක්නෙ.
හරි උත්තරය: මමත් දැක්ක ඔය චෝදනාව කරලා තියනවා. මම කියන්නේ මගේ සහෝදරයා උනත් වරදක් කරලා තියනවනම් නීතිය ඉදිරියට ගෙනල්ල දඬුවම් කරන්න කියල. මම කවදාවත් කිසිම ආයතනයකට මගේ පවුලේ කෙනෙක් වෙනුවෙන් බලපෑමක් කරලත් නෑ. කරන්නෙත් නෑ. ඔය කියන චෝදනාවලිනුත් පැහැදිලියි අපේ රටේ නීතිය යහපාලනය අධිකරණය ශක්තිමත් කරන්න ඕන කියල. මොකද මහජනයාට ඔය ආයතන ගැන විශ්වාසය තියනවනම් ඔය වගේ චෝදනා එල්ල වෙන්න නෑ. මොකද වැරදිකාරයන්ට දඬුවම් ලැබෙනවා කියල පැහැදිලියි.

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්