Thursday, February 18, 2010

ලංකාවට හිම වැටුනොත් | Talks from Snowy Sri Lanka

මේ දවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ ගොඩක් රටවල් වලට අධික ලෙස හිම වැටීම නිසා හරි ජරමර නේ. සමහර රටවල් කොහොමත් ඒවට පුරුදු නිසා අපහසුවක් නැතිව මූණදෙද්දි තවත් සමහර රටවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. ඉතින් මේවා ඇහෙද්දී මට හිතුනේ නත්තල් කාලෙට රූපවාහිනී නිවේදිකා‍වන්ගේ ඉස්සරහින් වැටෙන හිමයි නුවරඑලියට යාන්තන් වැටෙන මල් තුහිනයි ඇරෙන්න වෙන හිමක් වැටිල නැති අපේ ලංකාවට හිම වැටුනොත් කොහොමට හිටීද කියල.

ඉතින් මේ 'සිංහලේ මහා හිම පතන මංගල්‍යය' සම්පූර්ණයෙන් කවර් කරන්න මගේ මේ පුංචි බ්ලොග් එකේ ඉඩ නැති නිසා හිම වැටෙන වෙලාවෙ ප්‍රවෘත්ති වලට දෙන්න ගත්ත වොයිස් කට් කිහිපයකින් වැඩේ ගොඩදාන්නම්.

ගරු ජනාධිපතිතුමා: මාගේ රට වැසියනි. මේ සතුටුදායක මොහොතේ ඔබ අමතන්න ලැබීම මටත් හරිම සතුටක්. මම මගේ චින්තනයෙන් දුන් පොරොන්දු සියල්ල ඉටුකර අවසන් නිසා ඔබ වෙනුවෙන් කුමක් කලයුතුදැයි කල්පනා කරන විට මට මතක් උනා අපේ රටට කලක පටන් අඩුපාඩුවක්ව පැවති හිම ගැන. ඉතින් මම අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡාකොට ඒ නොදුන් පොරොන්දුවත් ඉටුකරමින් හිම වැස්සක්ම වැස්සවීමට කටයුතු කල බව මම බොහොම ආඩම්බරයෙන් කියන්න කැමතියි.

ගරු විපක්ෂනායකතුමා: හිම වැටෙද්දි මමත් එලියට බැහැල බැලුව මොකද්ද මේ වෙන්නෙ කියල. එතකොටම මට තේරුම්ගියා මෙතන මොකක් හරි යටි අරමුණක් තියනවා කියල. පස්සෙ පොඩ්ඩක් හොයල බලද්දි තමා මට දැනගන්න ලැබුනේ මේ හිම නිකම්ම හිම නෙමේ පර්සි රාජපක්ෂගේ නංගිගේ දුවට ස්කී කරන්න ගෙන්වපු හිම කියලා. රාජපක්ෂලාට විතරද ස්කී කරන්න හොඳ? අපේ මේ නංගිලල මල්ලිලට ස්කී කරන්න හොඳ නැද්ද? අපි හැමෝම මේ දූෂණයට එරෙහිව නැගීසිටින්න ඕන.

ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා: සහෝදරවරුනි සහෝදරියනි, මම තමුන්නාන්සේලට කියන්න ඕන මේ හිම වැස්ස අහම්බෙන් වැටිච්ච හිම වැස්සක් නෙමේ. නෝරුවේ යූඑන්පී ජේවීපී කියන මේ අශුද්ධ සන්ධානය එකතුවෙලා අපේ මාතෘ භූමියට එරෙහිව කල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේක උනේ. අපි දිවි නොතකා මීට විරුද්ධව සටන් කල යුතුයි. මේ කුමන්ත්‍රණය පරාජය කල යුතුයි.

ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා: අර අපෙන් ගිය හාදයෝ අරහෙට වෙලා බෙරිහන් දෙනවා කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කිය කිය. මම ඔය එක එක ඌරන්ගේ කතා වලට උත්තර දෙන්න යන්නේ නෑ. හැබැයි තව ටික දවසකින් තමුන්නාන්සේලට බලාගන්න පුළුවන්වෙයි සැබෑ කුමන්ත්‍රණය මොකක්ද කියන එක. මේවනවීටත් මේ වැටුන හිම මේ රටේ ජනතාවගේ පාවිච්චියට නොගෙන රට පැටවීමට මහින්ද රාජපක්ෂ ගිවිසුමක් ගසා ඇතිබව අපිට ඔප්පුකරල පෙන්නන්න පුළුවන්.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි: ඇත්තටම මේ හිම වැටීම ඔබතුමන්ලට අරුමයක් උනාට මටනම් අරුමයක් නෙමෙයි. මොකද මම කරපු ගවේශණ වලදි මට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවෙලා තියනවා අවුරුදු දහස් ගණනක් පැරණි හිම කැට. ඒ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් මීට අවුරැදු දහස් ගානකට කලින් ලොව සියළුම රටවලට උඩින් තිබූ බවටත් ඒ නිසාම අපිට විශාල වශයෙන් හිම ලැබීම සිදුවූ බවටත්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය: දැන් බලන්න ඒ දවස්වල මම රට පාලනය කරන කාලෙ තමුන්නාන්සේලට මේ වගේ ප්‍රශ්න තිබුනද? තමුන්නාන්සෙල දෙයියනේ කියල කාල ඇඳල සන්තෝසෙන් හිටියනේ. ඒ කාලෙ මේ වගේ දෙයක් උනානම් මම වහාම උපදෙස් දෙනව ඒ ගැන ක්‍රියා කරන්න කියල. ඒත් දැන් ඉන්න පාලකයන්ට තමුන්නාන්සේලගේ දුක ගැන වැටහීමක් නෑ.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා: මමනම් මේක දකින්නේ ධනපති පන්තිය විසින් නිර්ධනයන් වෙත ඇටවූ උගුලක් හැටියට. මේ රටේ පීඩිත පන්තියේ ජනතාව මේ ධනපති ක්‍රමයට විරුද්ධව සටන් කිරීමට ඉතාමත් ආසන්නවෙලා ඇති මේ වෙලාවෙ මේ වගේ ටොපියක් පෙන්නල ජනතාවගේ අවධානය වෙනතකට යොමුකරන්න තමයි මේ පාලකයෝ සූදානම් වෙන්නේ. ඔය පාලකයන්ට මම කියන්න ඕන ඔය මොනව කලත් අපේ රටේ පීඩිත අරගලය ළඟඳීම දියත්වෙනවා ඒක වලක්වන්න කාටවත් බෑ කියල.

ජැක්සන් ඇන්තනි කලාකරුවා: අපි මේ මාතෘ භූමියෝ ඉතිහාසය වෙත ඇස යොමා බැලුවොත් අපිට පෙනෙන්න තියනවා එදා දූට්ඨ ගාමිණී අභය රජ සමයේ ස්වර්ණමාලී චෛත්‍යරාජයානන්ගේ කොත් පළඳන විටත් මහා හිම වරුසාවක් ඇදවැටී ඇතිබව. මේ රටේ ජනමූල සංස්කෘතික වීරයන් බිහිවූ හැමවිටම ඒ වගේ විපරියාස වෙලා තියනවා. දූට්ඨ ගාමිණී අභය කියන්නෙත් එහෙම වීරයෙක්. අදත් අපිට එහෙම වීරයෙක් බිහිවෙලා ඉන්නවා. ඒ පිනට තමා මේ ආශ්චර්යයන් සිද්ධවෙන්නේ.

උපේක්ෂා ස්වර්ණමාලී (පබා) කලාකාරිය: මම මගේ රසික රසිකාවියන්ට කියන්න ඕන හිම කියන්නේ හරිම සුන්දර දෙයක්. පොත් වලින් දැකල තිබුනට මමත් අද තමා ඇත්තටම හිම දැක්කේ. මම දන්නවා ඔයාලා මාව අයිටීඑන් එකේ දකින්න නැති නිසා ගොඩාරියක් දුකෙන් ඉන්නේ කියල. මම ඔයාලගෙන් ඉල්ලාහිටින්නේ මාව පබා ටෙලිඩ්‍රාමා එකෙන් අයින් කරල ඔයාලගේ හිත රිද්දපු මේ දුෂ්ඨ ආණ්ඩුව පලවා හරින්න මාත් එක්ක එකතුවෙන්න කියල.

සාමාන්‍ය ජනයාගෙන් කෙනෙක්: අනේ ඇත්තට මහත්තයෝ මුන්ට පිස්සුද? හැටිද? අපි මේ සීතලෙන් බඩසායෙන් දැවෙනවා. මෙයාල මෙහෙ බයිල ගහනවා. මහත්තයො මේ... මහත්තයලත් අපේ ගිනි අරන් ඉන්න රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්න හදන්නෙ නැතුව ඔය හුචක්කුව පැත්තකින් තියල පොඩ්ඩක් උදව්වෙන්න මේ ගිනිමැලේ ගහගන්න. පේන්නෙ නැද්ද මේ පොඩි එකා සීතලේ ගැහෙන හැටි.

කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට......

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
ලංකාවට හිම වැටුනොත් | Talks from Snowy Sri LankaSocialTwist Tell-a-Friend

43 ක් අදහස් තියනවා මේ ගැන:

Kathandarakaraya මෙහෙම කිව්වා...

පොඩි වැරද්දක්. විමල් වීරවංශ ගෙ කතාව ගැන. එයා කොහොමද මහින්ද රාජපක්‍ෂ ඝෙ එකට වෙනස් අදහසක් කියන්නේ? වයර් මාරුවෙලාද? (සවුන්ඩ් ක්ලිප් වල)

කතන්දරකාරයා

Anonymous මෙහෙම කිව්වා...

ඔක්කොම හොදයි පංචායුධ කුමාරයගෙ කතාව විතරයි වැරදි.

.::පිස්සා::. මෙහෙම කිව්වා...

කෝ අපේ සකල බුජංගේ වොයිස් කට් එක? මේක බලන්න පොඩි ළමයිනුත් එන නිසා, ඒක වාරණය කරාද?

දසයා මෙහෙම කිව්වා...

Kathandarakaraya වෙත,
මටත් ඔය ගැන හිතුනා අයියේ. ඒත් විමල් සහෝදරයා කොරහෙත් කිඹුල්ලු දකින නිසා මට කුමන්ත්‍රණ ගැනමයි ලියන්න හිතුනේ.

Anonymous වෙත,
කවුද බං පංචායුධ ?

පිස්සා වෙත,
කවුද මචෝ සකල බුජං? මීටර් වෙන්නෙ නෑනෙ.

Malith මෙහෙම කිව්වා...

විමල් වීරවංශ ගෙ කතාව උඩින්ම ඇවීල්ල ඊට පස්සෙ රනිල්, අනුර දිසානායක ඇවිල්ල අපහු සංශොධන සහිතව ජනාධිපතිතුමා ගේ කතාවට පස්සෙ වැටුන නම් හරි

දුකා මෙහෙම කිව්වා...

elama kiri ban . . . siraawatama liyala tiyenawa . .. . uba maara dakshayek . . .

RanDil මෙහෙම කිව්වා...

පංචායුධ කුමාරයා = විමල් වීරවංශ විය යුතුයි.
සකල බුජං = S. B. විය යුතුයි. මට හිතෙන්නේ.

මෙහෙම කිව්වා...

එළ

දසයා මෙහෙම කිව්වා...

Malith වෙත,
බොහොම ස්තුතියි අදහස් වලට. මම ඊළඟ කතාව ලියද්දි ඔය අඩුපාඩු හදාගන්නම් කෝ.

දුකා වෙත,
ස්තුතියි මචං. දසයා දස්සයද?

RanDil වෙත,
ආ මේ දෙන්නද. මොකක්ද මේ විමල්ගෙ පංචායුද කතාව? මිනිහ මොකක් හරි කියන්න ගිහින් නාලද? ස්තුතියි නංගි.

ම වෙත,
ස්තුතියි මචෝ.

RanDil මෙහෙම කිව්වා...

නැහැ "මව්බිමේ පංචායුධය" කියලා මූණ දාලා පෝස්ටර්ස් අලවලා තියෙනවා අයියා දැක්කේ නැද්ද?

නුවර පාර මෙහෙම කිව්වා...

පාරට උනත් හිනා ගියා ...

Chanaka Aruna Munasinghe මෙහෙම කිව්වා...

LOL . :D

Anonymous මෙහෙම කිව්වා...

විපක්ෂ නායකගෙ දූෂණ කතාව නම් විකාරයක්.

දසයා මෙහෙම කිව්වා...

RanDil වෙත,
අහා ඒකද සිද්ධිය. ස්තුතියි නංගි දැන්වත් කලාට.

නුවර පාර වෙත,
ස්තුතියි. ස්තුතියි. ඒවුනාට මේව මහින්ද මාමට එහෙම කියනවා නෙමෙයි හො‍ඳේ.

Chanaka වෙත,
:)

දසයා මෙහෙම කිව්වා...

Anonymous වෙත,
ඇත්තනේ මචං. අපේ විපස්සනායකතුමා කතාකරන්නෙම විකාරනේ. මෙච්චර කතාකරන්න ප්‍රශ්න තියෙද්දි.

චතුරංග රූපසිංහ මෙහෙම කිව්වා...

මගේ පුන්චිකාලේ තිබ්බ හීනයක් තමයි අනේ අපේ ගෙදරටත් හිම වැටෙනවනම් :)

Anonymous මෙහෙම කිව්වා...

විපක්ෂ නායක ගොඩක් වෙලාවට කියන වචනයක් "පරමාධිපත්‍යය".දූෂණය නම් කියන්නෙම නෑ.චානක දන්නව ඇති.

දසයා මෙහෙම කිව්වා...

චතුරංග වෙත,
මල්ලී ඒ ගැන නම් හීනෙන්වත් හිතන්න එපා. ආතල් තියෙන්නේ මුල දවස් දෙක තුනේ විතරයි. ඊට පස්සෙ මල වදේ. අන්දැකීමෙන් කියන්නෙ :)

Anonymous වෙත,
අන්න මචං මට මිස් උන වචනයක්. තැන්කූ මතක් කලාට. ඊළඟ සැරේක ලියද්දි ඕන වෙයිනෙ.

බිඟුවා...! මෙහෙම කිව්වා...

mama nam kamatima ara pintuurayata.

ballagea wedea kohomada?

malee_msg මෙහෙම කිව්වා...

හාහාහා..!!! මේක නම් හරිම ජොලි..!

දුකා මෙහෙම කිව්වා...

ow ow macho . .dasaya harima dhakshayaa tamai . . .ela ela . . digatama liyapan . .

chamiladealwis.com මෙහෙම කිව්වා...

මැක්සා.

මේ යන විදියට හිම විතරක් වැටුනොත් හොඳයි.

බුද්ධි මෙහෙම කිව්වා...

උඔත් මාර චින්තකයෙක් බලං ගිහාම. එළකිරි!!! මම නං එලියට බැස්ස ගමන් හිම කාගෙන කගෙන යනවා. අර මිල්ලෙ සොයා එකේ වගේ. ආයෙ කවද වැටෙයිද කවුද දන්නේ නේ..

Buddhika Ariyaratne මෙහෙම කිව්වා...

Good Article. I will subscribe. You can become a good writer in a national newspaper.

änthräX මෙහෙම කිව්වා...

දුම්රියපලේ ඉදල බොහොම පරිස්සමෙන් ඇවිදං ඇවිත් ගේ පෙනි පෙනී ලිස්සල වැටිල මල පැනල ගෙට ගොඩවෙලා උබේ මාතෘකාව දැක්ක ගමන් හොද කුනුහරපයක් කමෙන්ට් කරනව කියලා හිතාගෙන කියවන්න ගත්තෙ. පට්ට ඕයි. ඇඩෙනවා

දසයා මෙහෙම කිව්වා...

බිඟුවා වෙත,
මම හොයල හොයල තමා ඔය පින්තූරෙ තෝරගත්තේ. ලංකාවට ගැලපෙන්නත් ඕන. හිම තියෙයන්නත් ඕන නේ.

malee වෙත,
ඇත්තටම වැටුනොත් අපේ කට්ටිය ඔයිට වඩා ජොලි වැඩ කරයි.

දුකා වෙත,
අදහස් නම් එමටයි. ලියන්න වෙලා තමා නැත්තෙ මචං.

chamila වෙත,
ඒකනම් ඇත්ත මචෝ තව මොන මොනවා වැටෙයිද දන්නෙ නෑ.

බුද්ධි වෙත,
රට දැන් චින්තනයෙන්නෙ යන්නෙ. ඉතින් අපිත් දැන් චින්තකයො වෙලා. උඹ හිම කාල අජීර්න එහෙම හදාගන්නව නෙමෙයි.

Buddhika වෙත,
ස්තුතියි යාළුවෙ. ඒත් මේ කාලෙ පත්තරකාරයෙක් වෙන එක මාර භයානක වැඩක්නේ.

änthräX වෙත,
ඒකනෙ බං. නැත්තෝ පතති. ඇත්තෝ යලි නොපතති.

ඉශාන් තිළිණ මෙහෙම කිව්වා...

නියමයි අයියේ නියමයි, අයියා ලියන ක්‍රමේ නම් මරු :)

Indika මෙහෙම කිව්වා...

මල්ලි එල කතාව

විමලට හරියන නම නම් මහොඋශද පන්ඩිත. මොකද මිනිහ ලන්ගදි Italy telecast කරන TV channel එකකට ඈවිත් කිවුවෙ ඒ ගොල්ලො දෑන් මෙ ආන්ඩුවෙ මහොඋශද භූමිකාව ලු රන්ගපාන්නෙ..හි....හි...

සරදියල් මෙහෙම කිව්වා...

ඒ මාර වැඩේ ඕයි මටත් හිනා යනවනේ ඕයි
හී හී පට්ට පතුරු ඈ...

ත‍රිඳු මෙහෙම කිව්වා...

hik hik... pissu hedenawa

දසයා මෙහෙම කිව්වා...

ඉශාන් වෙත,
ස්තුතියි මලයා.

Indika වෙත,
පංචායුධ, මහෞෂධ මාර නම් තමා විමල්ට තියෙයන්නෙ. මිනිහා නිකන් ජාතක කතාවක් වගේනෙ.

සරදියල් වෙත,
තැන්කූ සරා.

ත‍රිඳු වෙත,
අපේ රටේ වෙන දේවලට පිස්සු හැදිල බේරුනොත් ඇති මලයෝ.

දිල් මෙහෙම කිව්වා...

කියෙව්ව විතරක් නම් මදෑ....හොදටම හිනා උනත් එක්ක..දන්නවනෙ ඉතින් කෙල්ලො හිනා වෙන්න ගත්තම break නෑනෙ ......තාමත් නිකම් මඤඤං මඤඤං වගේ ....

දසයා මෙහෙම කිව්වා...

දිල් වෙත,
අප්පේ එච්චරටම හිනා ගියාද? මේ පැත්තේ ආවට ස්තුතියි.

දිල් මෙහෙම කිව්වා...

අනේද කියන්නේ ?
වැරදිලවත් හිම වැටුනොත්...............හික්

බිඟුවා...! මෙහෙම කිව්වා...

හිම විතරක් මදි,
අර ජාතියේ බල්ලෙකුත් ඉන්න ඕනෑ

/බිඟුවා...!

Ansh Lucky Sri Jay මෙහෙම කිව්වා...

මරු කතාව.
:D

CD Athuraliya මෙහෙම කිව්වා...

මට මේ කතාව mail එකක් විදියටත් ආව! නියම කතාව!!! :D :D

Hipo මෙහෙම කිව්වා...

හප්පා... බඩ පැලෙන්න හිනා වුනා... තාමත් හිනා. දාසයාත මගෙ සුභ පැතුම්...

හිපො නැන්දා.

ගයන්ත මෙහෙම කිව්වා...

මැක්සා මැක්සා.. දසයාට ජනමාධ්‍ය ඇමතිකම උනත් දෙන්න බැරි නෑ.. :D

දසයා මෙහෙම කිව්වා...

දිල් වෙත,
වැරදිලවත් හිම වැටුනොත්... මටනම් හිතෙද්දිත් ඇඬෙනවා.

බිඟුවා වෙත,
හිම තියනවනම් බල්ලො නම් දාහක් උනත් හොයාලන්න බැරියැ.

Ansh Lucky Sri Jay වෙත,
තැන්කූ. තැන්කූ.

CD Athuraliya වෙත,
සන්තෝසයි මේ කතාව සෑහෙන්න ජනප්‍රිය වීම ගැන. එතකොට තව ලියන්න ගටක් එනවනේ.

Hipo නැන්දා වෙත,
හිපෝ කෙනෙක් බඩ පැලෙන්න හිනාවෙද්දි හිම වැටුනට හපන් ඇති නේද?

ගයන්ත වෙත,
ජනමාධ්‍ය ඇමතිකමනම් නැතත් කමක් නෑ මාව උස්සන්නෙ නැතුව හිටිහොත් හොඳටම ඇති.

Chinthaka මෙහෙම කිව්වා...

machan ubata hoda liweeme hekiyawak thiyenawa.mama hadawathin ma suba pathanawa.........adu padu hada gena idiriyatama yanna.....
SUBA ANAGATHAYAK.....

Anonymous මෙහෙම කිව්වා...

මචං උඹේ මේ පෝස්ට් එක ඔන්න ඊ මෙල් වලින් එහෙ මෙහෙ යනව උඹේ නමවත් නැතුව

දසයා මෙහෙම කිව්වා...

Chinthaka වෙත,
බොහොම ස්තුතියි අගය කිරීමට යාළුවේ. අඩුපාඩුත් කියන්න එතකොටනේ ඒව හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්.

නමක් නැති යහළුවා වෙත,
කමක් නෑ බං එහෙම හරි වැඩි දෙනෙකුට කියවන්න ලැබෙනවනම්. ඒත් ඉතින් නමත් දාල යැව්වනම් තමා වැඩිය හොඳ.

ඔබට හිතෙන දේ කියන්න

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.