Thursday, November 27, 2014

ඇයි අපි මේ පාරත් මහින්දටම දෙන්න ඕනේ?


මේකට බොහොම බුද්ධිමත් උත්තරයක් ආණ්ඩුවේ කළමනාකරණය ආපදාවට ලක්කරන ඇමතිතුමා වන මහින්ද අමරවීර මැතිතුමා කියල තිබුන. ඒ "අපේ කට්ටිය දැන් හොඳට ගහල ඉන්නේ, අරුන් ආවොත් ආයෙත් මුල ඉඳන් ගහන්න ගනියි. ඒක නිසා අපිටම දෙන්න" කියලා. මේක අහපු වෙලේ ඉඳන් අනික් මැති ඇමතිතුමලත් එතුමන්ලාගේ බුද්ධිය විදහා දක්වන්න පොරකනවා. මෙන්න ඒවායින් කීපයක්. පුළුවන් නම් කියමු බලන්න කවුද මේ මැති ඇමැතිතුමාල කියලා.
"අපි  ලංකාවට ඇති තරම් කුඩු බෙදනවා. අරුන් ආවොත් වැඩිපුරත් එක්ක බෙදයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි ස්කාගාර කීපයක්ම දාල එතනෝල් වලින් අරක්කු හදනවා. අරුන් ආවොත් මෙතනෝල් වලිනුත් අරක්කු හදයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි සමාජවාදී චීනෙට රටෙන් බාගයක් විතර උගස් කරලා තියෙන්නේ. අරුන් ආවොත් අධිරාජ්‍යවාධී ඇමරිකාවට ඉතුරු බාගේ උගස් කරයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපේ මිහින් එයාර් වගේ එව්වා බිලියන පොඩ්ඩක් පාඩු වෙනව තමයි. ඒ වුනාට අරුන් ආවොත් මෙත්ත එයාර් වගේ එකක් දාල පාඩුව ඩබල් කරයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි අපිට විරුද්ධ මාධ්‍යවේදියෝ ඔක්කොම ටික අතුරුදහන් කරල තියෙන්නේ. අරුන් ආවොත් අපිට හිතවත් මාධ්‍යවේදියෝ ටිකත් අතුරුදහන් කරයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි මේ ණය වෙලා වෙලා හම්බන්තොට වරායකුයි ගුවන් තොටුපලකුයි හදල ඉවරවුනා විතරයි. අරුන් ආවොත් පොලොන්නරුවෙත් වරායක් හදන්න හදයි. ඒක නිසා අපිටම දෙන්න, නැද්ද හාමුදුරුවනේ?"
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

Wednesday, November 26, 2014

පොදු අපේක්ෂකයාට ප්‍රශ්න පහක් සහ උත්තර දහයක්

01. ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇයි?
වැරදි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට සෞඛ්‍ය ඇමතිකම හරියට කරගෙන යන්න දුන්නේ නෑ. මට ගොඩක් හිරිහැර කළා. මම ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ. මගෙන් මහවැලි ඇමතිකම උදුරගත්ත දවසේ තමා මට මේ ආණ්ඩුව එපා උනේ.
හරි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඔහුගේ සහෝදරයන් සහ ගෝලබාලයන් මේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයමින් ඉන්නවා. රටේ යහපාලනය බිඳවැටිලා, වංචාව දූෂණය ඉහවහා ගිහිල්ලා. අපේ රට අන්තර්ජාතික වශයෙන් හුදකලා වෙලා. මේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ස ජයග්‍රහණය කලොත් මේ රට මිලිටරි පාලනයකට යටත් වන බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිවන බවත් මට තේරුණා. මේ අපිට ලැබෙන අවසාන අවස්ථාව. එක නිසයි මම තිබුන තනතුරුත්, දෙන්න හැදුව තනතුරුත් අත ඇරලා රට වෙනුවෙන් ඉදිරිපත් උනේ. මොන දේ කරන්නත් රට ඉතුරු වෙලා තියෙන්න ඕනනේ.

02. ඔබ ජනාධිපති වූ විගස කරන්නේ කුමක්ද?
වැරදි උත්තරය: මම රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති කරනවා.
හරි උත්තරය: අපේ පළවෙනි කාර්යය තමයි මේ රටේ යහපාලනය නැවත ස්ථාපනය කරන එක. ඒ සඳහා ප්‍රධානම බාධකයක් වෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. පළවෙනි දින සීය ඇතුලත එම කාර්යය ඉටු කිරීම සඳහා අපි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරලා ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා. එම දින සීය සඳහා සියළුම පක්ෂ එකතුව භාරකාර රජයක් පිහිටවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම ජනාධිපති නිසා අනික් විශාලම පක්ෂය වන එකසත් ජාතික පක්ෂයේ නායක තුමාට භාරකාර රජයේ අගමැතිකම් දිය යුතුයි කියල තමා මම හිතන්නේ. ඒ වගේම අනික් පක්ෂ වලටත් භාරකාර රජයේ වගකිවයුතු තනතුරු දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.දින සීය ඇතුලත ව්‍යවස්ථා වෙනස්කම් කිරීමෙන් අනතුරුව මහා මැතිවරණයක් කැඳවීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ජනතාවට පුළුවන් සුදුසු ආණ්ඩුවක් අගමැතිවරයෙක් තෝරාගන්න.

03. ඔබගේ ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ භූමිකාව කුමක්ද?
වැරදි උත්තරය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණයකල බණ්ඩාරනායක උරුමය තියෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ළඟ. එතුමිය මෙහි විශාල කාර්යභාරයක් කරනවා. (මක්‍රෆෝනය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට)
හරි උත්තරය: මේ කටයුත්තෙදි එතුමිය අපිට විශාල සහයෝගයක් දෙනවා. කෙසේවෙතත් එතුමිය අප පිහිටවන ආණ්ඩුවේ කිසියම් තනතුරක් ලබාගැනීමට හෝ ක්‍රියාකාරීව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. (චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මාධ්‍ය අමතන්නේ නෑ)

04. කෝ ආණ්ඩුවෙන් එනව කියපු කට්ටිය?
වැරදි උත්තරය: හොඳ හොඳ  සෙල්ලම් එළිවෙන ජාමෙට.
හරි උත්තරය: අපි ආරාධනා කරනවා ආණ්ඩුවේ ඉන්න අයටත් අනික සියලු දෙනාටත් අපි එක්ක එකතු වෙන්න කියල. ඒ වුනාට මේ වැඩ පිළිවෙල මම හෝ තව පුද්ගලයන් කිහිපදෙනෙක් මත රඳා පවතින දෙයක් නෙමේ. මේක ජනතාවගේ වැඩපිළිවෙලක්. එක නිසා අපි සියලු දෙනාම එකතුවෙලා මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරන්න ඕන.

05. ඔබගේ සහෝදරයන්ට එල්ලවන සහල් මාෆියාව වැලිගොඩ දැමීම වැනි චෝදනා ගැන ඔබ කියන්නේ කුමක්ද?
වැරදි උත්තරය: මොන මාෆියවක්ද එහෙනම් මම ඒ පැත්තේ ඉද්දි ඕව කියන්න එපැය. ඔය මාෆියාවේ ඉන්නවා කියන අනික් කෙනා තාම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක්නෙ.
හරි උත්තරය: මමත් දැක්ක ඔය චෝදනාව කරලා තියනවා. මම කියන්නේ මගේ සහෝදරයා උනත් වරදක් කරලා තියනවනම් නීතිය ඉදිරියට ගෙනල්ල දඬුවම් කරන්න කියල. මම කවදාවත් කිසිම ආයතනයකට මගේ පවුලේ කෙනෙක් වෙනුවෙන් බලපෑමක් කරලත් නෑ. කරන්නෙත් නෑ. ඔය කියන චෝදනාවලිනුත් පැහැදිලියි අපේ රටේ නීතිය යහපාලනය අධිකරණය ශක්තිමත් කරන්න ඕන කියල. මොකද මහජනයාට ඔය ආයතන ගැන විශ්වාසය තියනවනම් ඔය වගේ චෝදනා එල්ල වෙන්න නෑ. මොකද වැරදිකාරයන්ට දඬුවම් ලැබෙනවා කියල පැහැදිලියි.

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්