Friday, July 10, 2015

බල්ලා බැඳ දමනු!

ඔන්න එකෝමත් එක රටක ගමරාල කෙනෙකුයි බල්ලෙකුයි සන්තෝසෙන් ජීවත් උනාලු. ටික කාලයක් මෙහෙම ඉද්දි බල්ලට පිස්සු හැදිල මිනිස්සු හපාකන්න පටන් ගත්තලු. බල්ලගෙන් බේරෙන්නම බැරි තැන ගමේ මිනිස්සු ටික එකතුවෙලා අමාරුවෙන් ගමරාලවත් කැමති කරගෙන බල්ලව අල්ලල කූඩුවකට දැම්මලු. වැඩි පරිස්සමට කියල කූඩුවෙ යතුරත් ගමරාලටම දුන්නලු. බල්ල කුඩුවෙ දාපු වෙලේ ඉඳන් ගමේ හිටපු ඔක්කොම බල්ලො ටික පිස්සු බල්ලගෙ කූඩුව වටේට එකතුවෙලා අපේ අහිංසක බල්ලව අරින්ඩෝ කියල උඩුබුරන්න පටන් ගත්තලු. මේක කන්කරචලයක් උනත් ඔන්න ඔහෙ උන්ටම ඇතිවෙලා නවත්තයිනෙ කියල ගමේ මිනිස්සු කරබාගෙන හිටියලු. ඒ වුනාට මේ සද්දෙ ඇහෙද්දි ගමරාලට නින්ද යන්නෙම නැහැල්ලු. මගෙත් එක්ක සැහෙන කාලයක් එකට හිටපු බල්ල නේද කියල වෙලාවකට හිතෙනවලු. ඒවුනාට මූ එළියේ හිටියනම් වෙලහකට මාවත් කාල නේද කියල තව වෙලාවකට හිතෙනවලු. දැන් ගෙදර ආරක්ෂාවට හිටපු බලලත් කූඩු කරල ඉන්න එකේ අල්ලපු ගෙදර සේතන් ගොයිය ඇවිත් අපේ ගෙදර ලගියිද දන්නෙ නෑ කියල තව වෙලාවකට හිතෙනවලු. ඔහොම හිතල හිතලම ගමරාලට සාංකාව වගේ හදුනලු. කරන කියන දේවල් මතකත් නෑලු. ගෙදර නෝනට එකක් කියනවලු ටිකකින් එහා ගෙදර සේතන් ගොයියට ඊට හාත්පසින්ම වෙනස් එකක් කියනවලු, බල්ලව අරිනවා කියනවලු නෑ කියනවලු, බල්ල ඇරල අනික් බල්ලන්ට ගහල පන්නනව කියනවලු, එක විකාරයයිලු. ඔය අස්සෙ බල්ල අල්ලන්න ඉස්සරහින්ම ගිය සේතන් ගොයිය මිනිහගෙ යාළුවො කට්ටියක් එක්ක සෙට් වෙලා රෑට රෑට ගමරාලගෙ වත්තෙ පොල් බානවලු. එක දවසක් ගහ උඩ හිටපු එකෙක් අතේ මාට්ටු උනාම තණකොළ ටිකක් කපාගන්නමයි යැව්වෙ කියල දහ අතේ දිවුරනවලු. මේ ඔක්කොම ජරමර අස්සෙ ගමරාල තෙපර බබා ඉඳල ඉඳල හොඳ නැකතක් එහෙම බලල බලු කූඩුවෙ දොර ඇරල දැම්මලු. අනේ ඉතින් මිනිස්සු අමාරුවෙන් බැඳල දාපු බල්ල මෙන්න ආයෙ පුරුදු විදිහටම දඩාවතේ යනවලු. ගමයත් එක්ක බල්ල අල්ලන්න උදවු කරපු උන්ව දැක්කම අන්ඩක් එහෙම උස්සල කින්ඩි දානවලු. හැබැයි බල්ල ගමරාලටනම් වෙනදටත් වඩා ආදරෙයිලු. ළඟටම වෙලා කෙඳිරි ගගා ඉන්නවලු. හැබැයි ගමේ මිනිස්සුනම් කියන්නෙ බල්ලගෙ ඔය සිල් පුර හඳ පායනකල් විතරයි, කට්ටියම එකතුවෙලා එදාට බල්ලො සෙට් එකම එලෝල දැම්මෙ නැත්නම් බබිත් සුන් බබීගෙ අම්මත් සුන් ගමරාලත් සුන් කියලලු. - දසයා