Tuesday, December 16, 2014

දේශපාලනේ කන්නද?


"දේශපාලනේ කන්නද?" "ඕකෙන් අපිට ලැබෙන දෙයක් නෑ" "අපි හම්බකරගත්තොත් අපි කනවා" "මහින්ද දිනුවත් මෛත්‍රී දිනුවත් අපිට වෙන සෙතේ මොකද්ද?" මේ දිනවල බොහොම අහන්න ලැබෙන කතා කිහිපයකි. විශේෂයෙන් නිදන්ගත් දේශපාලන උණෙන් පෙලෙන උනුත් චන්දයක් ලංවන විට දේශපාලන උණ ගැනෙන උනුත් කොච්චි ගෑවුනා සේ දඟලද්දී අම්මලා තාත්තලා ගෙදර උන්දලා ඇතුළුව වටෙපිටේ බලන් ඉන්නවුන් කියන්නේ ඔය කතාවය. ඊට අමතරව "මටනම් දේශපාලනේ පෙන්නන්න බෑ", "මම නම් චන්දෙ දාන්න යන්නෙත් නෑ" වැනි කියමන් දැන් තරමක විලාසිතාවක්ද වී ඇත. බැලූ බැල්මට කතාව ඇත්තය. අපි ජීවත් වෙන්නේ අපි හම්බකොරගන්නා එකෙන්ය. මහින්දවත් මෛත්‍රීවත් අපිට කන්න දෙන්න එන්නේ නැත. ඉතින් අපි ඔය චන්දෙට ඕ.ටී දාගෙන දඟලන්න ඕනද? දේශපාලන වශයෙන් සක්‍රිය වීම රටක ජනතාවගේ යුතුකමක් වගකීමක් සේම අයිතිවාසිකමකි. යන්තන් ජීවිතේ ගැටගන්න උදේ හවස මහන්සිවෙන මිනිස්සුන්ට යුතුකම් වගකීම් තියා තමන්ගේ අයිතිවාසිකම් ගැන හොයන්නවත් වෙලාවක් නැත. ඒ නිසා මගේ අරමුණ ඒ ගැන කතා කිරීම නොව දේශපාලනය නිසා "අපි හම්බකරගෙන අපි ජීවත් වෙන " එකට බලපාන්නේ කෙසේද යන්න කතාකිරීමයි.

ඉඳල හිටල එකෙක් දෙන්නෙක් ඇරෙන්න රටේ ජනතාව කවුරුත් පාහේ හම්බකිරීම සඳහා තමන්ට හැකි උපරිමයෙන් වැඩ කර අතට ලැබෙන පඩියෙන් කොහොම හරි රෝල ගැටගහ ගනී. රෝල ගැටගහ ගැනීමට නොහැකි උනොත් රත්තරන් බඩුවක් උගස් තියා හෝ ණයක් වී හෝ ජීවත් වෙයි. පවුලේ වියදම් ණය බර වැඩිවෙන විට හම්බ කරන්න තව මොනවා  හරි කරයි. අමතර අදායම් මාර්ගයක් නැතිනම් පගාවක් ගසා හෝ පවුල රකියි. එම නිසා අපි හම්බකලොත් අපි කනවා කියන සමීකරණය හරියටම හරිය. හැබැයි වරද ඇත්තේ අපි හම්බකරන් අපි කන එකට තවත් බොහෝ දේ බලපාන බව නොසිතීමය. ගෙදර නෝනා උයා පිහා ලෑස්ති කල පසු දවසකට එක වේලක් බල්ලෙක් කුස්සියට හොරෙන් පැන කෑම වේල ගිලදමනවානම් ඔබ හම්බකරන් කන එකට ඒක බලපානවා නේද? මාසේ පොතට බඩු ගන්නා කඩේ මුදලාලි ඔබව රවටා වැඩි ගානක් පොතට දමා බාල බඩුවක් දෙනවානම් ඔබ මහන්සි වී හම්බකරන තරමට ඔබට පරිභෝජනය කරන්න ලැබෙන්නේ නෑ නේද? හැමදාම පඩි පත අරන් ඔෆිස් එකෙන් එලියට එද්දි ගිනි පොලීකරයා මග ඉඳන් පඩියෙන් කොටහක් ඩෑහැගන්නවා නම් ඔබ කොච්චර මහන්සි උනත් අතට ලැබෙන්නේ කොටසයි නේද? ලංකාවේ දේශපාලනයේ ඔබට නොපෙනී ඔබේ කෑම වේල හොරාකන බල්ලන් සිටී. ඔබට නොපෙනී ඔබව රවටන කළුකඩ කාරයන් සිටී. ඔබට නොපෙනී ඔබේ පඩිය මංකොල්ල කන ගිනි පොලීකාරයන්ද සිටී.

අද රටේ නායකයා පාරේ කණුවක් කණුවක් ගානේ ඉඳගෙන විරිත්තන්නේ ඔබ එදා වේල කන්න ගේන පරිප්පු ටිකට හාල්මැස්සෝ ටිකට බදු පිට බදු ගසා එකතු කරපු සල්ලි වලින් නේද? පින්වන්ත කුමාරවරු පාරවල් වසා ලැම්බෝගිනි පදින්නේ ඔබේ මෝටර් සයිකලයට ගහන පෙට්‍රල් ටික එකට එකක් වැඩිකර විකුණා ගන්න සල්ලි වලින් නේද? ගණනින් සියයකට එහා වුනත් වන්දිභට්ට රාජකාරිය ඇරෙන්න වෙන කිසිවක් නොකරන ඇමති මණ්ඩලය උස්මුරුත්තාවට එන්නට ජරාව කා ඊළඟ පාර වටලප්පමට කන්න බලන් ඉන්නේ ඔබේ දරුවාගේ කිරිපිටි එකේ ගාන වැඩිකර එකතු කරගත් මුදල් නේද? එසේනම් ඔබේ කුස්සියට දිනපතා පනින බල්ලා කරන හානියත් ඔබට නොපෙනී ඔබේ බත්පතට තට්ටු කරන මොවුන් කරන හානියත් එකම නොවේද? අතේ සතේ නැතිව දේශපාලනයට ආපු උන් හෙලිකොප්ටර් සල්ලි වලට ගන්නේ පෙර පින නිසාද? එහෙන් මෙහෙට පනින උන් නවත්තන්නත් මෙහෙන් එහෙට පනින උන් මිලදී ගන්නත් කෝටි ගණනින් මළු පිටින් හුවමාරු වෙන්නේ වලව්වේ වත්තේ පොල් කැඩු සල්ලිද? ඒ සියල්ලම කරන්නේ ඔබට සංවර්ධනය පෙන්නා ඔබේ ඉදිරි පරම්පරා කීපයම චීනයට ණයකර බිලියන ගණනින් යටිමඩි ගැසූ මුදල් වලිනි. ඔබට වංචා කරන්න තව කළුකඩ මුදලාලිලා අවශ්‍යද? අවුරුදු පහක් ඔබ දුක්විඳ රට බේරාගත් වීරයාට හිතු හැටියට රටේ සම්පත් පරිහරණය කරන්න දී ණය ගෙවූ පසු ඔබේ බෙල්ල හිරකර තවත් අවුරුදු අටකට පොලිය ඉල්ලන්නේ නම්, මාසෙ පඩිය මංකොල්ලකන ගිනි පොලීකාරයත් ඔහුත් අතර වෙනසක් ඇද්ද?

කුස්සියට පැන්න බල්ලාට පයින් පාරක් දී එලවන ඔබ කඩේ මුදලාලිගේ වංචාවට ගිනි පොලීකාරයන්ගේ අසාධාරණයට එරෙහිව කතාකරන ඔබ, ඊට වඩා දස දහස් ගුණයක් විශාල මෙවැනි ජඩකම් වලට එරෙහිව කතාකළ යුතු නැද්ද? මේවා ඔබට නොපෙනෙනවා විය හැක, නමුත් නොදැනෙනවා විය නොහැක. ඔබේ බිරිඳ සහ දියණිය සාරුවා සුනිල්ලාගෙන් හැංගී ජීවත් වියයුතුනම් රටේ නායකයන්ගේ අතකොළු වු කඳ මිස හිස නැත්තවුන් ඔබේ පුතාට කුඩු පොවන්නට බලා සිටීනම් නීතිය ඉදිරියේ ඔබේත් මගේත් පැත්තට වඩා බලවතුන්ගේ පැත්ත බරනම්, ඔබ හම්බකරන් කැවත් ඔබට ජීවත්විය හැකි වටපිටාවක් තිබේද? කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නොව, ඔබ ඔබ වෙනුවෙන් කතාකළ යුතුය. එසේ නොකරන්නේනම් පසුව මැසිවිලි නගන්නට ඔබට අයිතියක් තිබේදැයි ඔබ ඔබෙන්ම ප්‍රශ්න කළ යුතුය.

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

11 comments:

  1. ඒක අතකට මිනිස්සුන්ට මේක ඒපා වෙලා තයෙන ඒකත් සාධාරණයි.......... ඒ තරමට මේ ක්‍රමය බල්ලට ගිහිං තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. බල්ලට ගියා කියල අත ඇරල දැම්මොත් ඒ බල්ලා පිස්සු බල්ලෙක් වෙලා හපන්න එද්දි දුවන්න ඉඩ මදිවෙනවා.

      Delete
  2. මිනිස්සු තමන් කැමති දේ තීරණය කරයි. මොකෝ සමහර උන් කියනවා වගෙම විකල්පයක් නැති නිසා. චන්ද්‍රිකා කියන්නේ පට්ට ෆේල් නායිකාවක්. එයාර්පෝට් වහනවා කියලා ටෝක් දෙන්නේ විධායකෙන් දැම්මම උළුව ඉදිමිලා ඉන්න නිසා. ඉතින් මිනිස්සු තමන් කැමති දේ තීරණය කරයි. ඒක නෙමෙයි වටිනා දේ. තම්න්ගේ කැමත්ත හෝ විරුද්ධත්වය ප්‍රසිද්ධියේ පෙන්විය යුතුමයි. ඒ කියන්නේ වටිනා ඡන්දය භාවිතා කල යුතුමයි.

    ReplyDelete
    Replies
    1. වැදගත් වන්නේ චන්දය දෙන්නේ කාටද කියන එක නෙමේ. අදහස් ප්‍රකාශ කිරීමට, තම අදහස ප්‍රශ්ණ කිරීමට අනිකාට ඇති අයිතිය පිළිගැනීමට, දේශපාලනය යනු අමුතු දෙයක් නොව තමන්ගේ ජීවත් වීමට කෙලින්ම බලපාන සාධකයක් බව පිරිගැනීමට හැකි ඒ අනුව ක්‍රියාකරන බහුතර පුරවැසියන් පිරිසක් බිහිවනතුරු බණ්ඩාරනායකල රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා හැමදාම අපිව නටවනු ඇත.

      Delete
  3. මෙහි අදහස ......."මේ සැරේ කොහොම හරි චන්දය දෙන්න" .......වියයුතුයි.
    මට හිතෙන්නේ , ප්‍රශ්නය තියෙන්නේ එතනයි. දේශපාලනය යනු ,අවුරුදු 4 - 5 කට සැරයක් චන්දයක් දීම, ලෙස සැලකීම යි.

    \\ කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නොව, ඔබ ඔබ වෙනුවෙන් කතාකළ යුතුය.//
    එක එක පුද්ගලයා , තම තමන්ගේ අවශ්‍යතා ඕනෑ එපාකම් අයිතිවාසිකම් වෙනුවන් , තනි තනිවම කතා කිරීම ක්‍රියා කිරීම....අර තනිවම හම්බ කිරීම, තමන්ගේ වැඩක් බලාගෙන සිටීම ම තමයි.
    තමන් ද අයිති වන සමාජය ගැන , සමාජයේ දියුණුව ගැන සිතා සාමුහිකව සංවිධානගතව එක් රොක්ව, කතා කිරීම ක්‍රියා කිරීම හා පවතින තත්වය වෙනස් කිරීම....දේශපාලනය යි..

    ReplyDelete
    Replies
    1. මොකුත් නොකර සිටීමට වඩා මේ සැරේ චන්දය දීම හොඳ දෙයකි. ඒත් මම අදහස් කලේ චන්දය දී අහක බලාගෙන සිටීම නොවේ. මම සඳහන් කල පරිදි ලංකාවේ බහුතරයකට දේශපාලනය ගැන උනන්දුවක් නැත. එම නිසා පරමාදර්ශීව සමාජයේ දියුණුව ගැන සිතා මිනිසුන් එකමුතුව හඬ නගන්න බැරිනම් තමන් ගැන හිතාවත් හඬ නගන්නට පටන් ගත යුතුය.

      Delete
    2. නැවතත් අවධාරණය කල යුත්තේ, තමන් ගැන හිතා හඬ නැගීම ,ක්‍රියා කිරිම දේශපාලනය නොවන බවයි.
      එය වඩාත් ලං වන්නේ ආත්මාර්තකාමිත්වයට යි..
      චන්දය දීම දේශපාලන ක්‍රියාවක් වනුයේ, එය තවත් පුද්ගලයෙක් කණ්ඩායමක් පක්ෂයක් ඉදිරිපත් කරන සමාජමය වැඩ පිළිවෙලකට ක්‍රියා මාර්ගයකට ඒකඟගවිමක් අනුබලයක් දෙන සාමුහික ක්‍රියාවක් වන හෙයිනි.

      Delete
  4. මිනිසුන්ව නැවත මේ දේශපාලනයට සක්‍රියව යොදාගන්න නම් ඔවුන්ට නිදහසේ තම මතය ඉදිරිපත් කිරිමටත් එසේ කිරීමෙන් තමන් හිංසාවට පිඩාවට පත් නොවන බවට යම් ගරන්ටියකුත් අවශ්‍යයි. හැබැයි ඒක ගන්න වෙන්නෙත් ඒ වෙනුවෙන් සටන් කරලම තමා. චන්දයත් එම සටනේම තවත් එක අවස්ථාවක්.

    ReplyDelete
  5. මට නම් හිතෙන්නෙ ජනතාව දේශපාලන වශයෙන් සක්‍රිය නොවීම.වෙලාවට වැඩ නොකරන එක එකාට බැන බැන ඉන්න කිසිම කමකට නැති ගෑනු කෙනෙක් අවුරුදු එකොලහක් රට පාලනය කළා කියන එකම මේ රටේ ජනතාවට හොඳ චරිත සහතිකයක්.පාලකයො පත්වෙන්නෙත් ජනතාවගෙ හැටියට තමයි.
    දැන් රැස්වීම් වල අඩනව පේනව.මිනිහ මැරුන ගෑනුන්ගෙ කදුලු වලට රටක් දීපු ජනතාවක්නෙ ඉන්නෙ.ඉතින් උන් හිතන්නෙ ජනතාව කියන්නෙ මරිමෝඩයො කියල

    ReplyDelete
  6. මම යනව චන්දෙ දානව
    මොකද ඕක අපි නොදැම්මොත් හොරට දානව
    අනික මෛත්‍රී මහින්දට වඩා අන්ත වෙන්න යන්නෙ ඒ බව දැම්මම ඔප්පු කරල තියෙනව
    ඒකෙ හෝදන්න දෙයන් නෑ

    ReplyDelete
  7. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 50% ක් විතර වුණොත් පවතින මැතිවරණ ක්‍රමය පිළිබඳ විස්වාසයක් නැතිකම යැයි ඔප්පුකල නොහැකිද?

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.