Showing posts with label පල්හෑලි. Show all posts
Showing posts with label පල්හෑලි. Show all posts
Friday, December 12, 2014
චන්ද කාලේ ඇඩ්ස්
අරලිය සුදු ආප්ප - "නෙත් පාදයි. සිත් පාරයි"
ගණිත චක්‍රවර්තී විමල් සර් - "බෙදිල්ල ඇර ඕන එකක්"
බර්බරි බ්‍රිට් - "කුමන්ත්‍රණ පරදන්න කියාපු ඇඳුම්"
පිලාස් ජිම්නාස්ටික් - "එහෙට මෙහෙට දෙකටම සීයයි."
මැදමුලන එක්ස්චේන්ජ් - "පරණ එකට අලුත් එකක්"
අයි.ටී.එන් වේස්ට් මැනේජ්මන්ට් - "කප්පරක් කුණු තප්පරෙන්"
නව තිස්ස අවමංගල අධ්‍යක්ෂකයෝ - "විසි වසරක අත්දැකීම. අලුත් තැනක. පරණ විදිහට."
මෛත්‍රී ප්‍රින්ටර්ස් - "පොරොන්දු පත්‍ර මුද්‍රණයේ ප්‍රමුඛයෝ"
සැටලයිට් රෙක්රූට්මන්ට්ස් - "ලොකු පොඩි සැමට ඇබෑර්තු ඇත. ජනවාරි 8ට පෙර අයදුම් කරන්න"
සිරිකොත ඉන්වෙස්ටර්ස් - "අවදානම් රහිත ආයෝජනයක්"
වාසු ඉන්ෂුවරන්ස් - "සැඳෑ සමයට සැනසිල්ලක්"
ජොනී පෙට් ෂොප් - "ඕනෑම් වර්ගයක හීලෑ බලු කුක්කෝ"
ඥානසාර ලර්නර්ස් - "U ටර්න් එක්ස්පර්ට්ස්"
අනුර ගුරුන්නාන්සේ - "අත්දුටුවයි සත්තයි. ප්‍රතිපල ගැන වගකියනු නොලැබේ"
පාඨක ප්‍රතිචාර:
රාජිත ඩෙන්ටල් ක්ලිනික් - "හෙමින් හෙමින් - දතින් දත" (Madhumadhavi Poetry)
පාඨලී කොන්ත්‍රාත්කරුවෝ - "නාය යවන්නත් පුළුවන් නායෙන් කෑල්ලක් ආපහු යවන්නත් පුළුවන්" (විචාරක - Wicharaka)
- දසයා
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
Thursday, December 11, 2014
මිථ්‍යාදෘෂ්ටිය
හරිද නැකත
අත්සන් කරන්නදඔන්න මිරිකුව බෝලේ
දැපනෙ වැටෙයි නේද ඔක්කොම
සුමනේ සුමනේ
මාර වැඩේ
කොමා ඉන්නේ වැරදි පැත්තට
මම යන්නම් පිටිපස්සෙන්
මූණ දාල සුබ පැත්තට
ඔන්න වැඩ ඔක්කොම තියල
යනව තිරුපති කියපු විදිහට
ඉන්දියාවෙ දෙවියෙක්නේ බං
සලකයිද ලංකාවෙ එකෙකුට
පඬුරු ළඟ දෙයියොත් නැමෙයිනේ
චීනො ළඟ අපි නැමෙන විදිහට
අනේ තැන්ක්යූ සුමනෙ
උඹල නැත්නම්
කොහොම ගෙනියන්නද මේ රට
ආසියාවේ ඈස්චර්යට
- දසයා
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
Tuesday, December 09, 2014
විකිණෙනු ලැබේ!
අනික් ඉවුරේ සිට
සියැසින්ම දුටු හෙළුව
කහවනුවල බරට
සීතම්බර පටින් වැස
නොපෙනෙන හැටි...
දෙඅතින්ම අනමින්
තලි පිටින් ගැසූ මඩ
කඳුළු වලින් සෝදා
ඇඳිවත උනා
පිස දමන හැටි...
නැති ගුණත් වයා
ඔසවා තැබූ පිළිරූ
දිව නොපිට තබමින්
ඇති හොඳත් මකා
බිම ඇද දමන හැටි...
වරක් දෙවරක් නොව
යලි යලිත් රැවටෙනා
බුද්ධිමත් ජනතාව
මේ විගඩම් බලා
අත්පුඩි තලන හැටි...
- දසයා
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
Friday, December 05, 2014
ආඩම්බරකාර අපේ තාත්තා
අපේ තාත්තා හැමදාම සෝමෙ මාමගේ පොට් එකට ගිහින් හොඳටම බොනවාය.
අපේ අම්ම නම් කියන්නේ අපිට වේලක් ඇර වේලක් හරි කන්න දෙන නිසා කමක් නෑ කියාය.
තාත්තා බිව්වෙ නැත්නම් අපිට වේල් තුනම කන්න තිබුණ නේද අම්මෙ?
අපේ තාත්තා බීගෙන ඇවිත් හැමදාම අම්මටයි මටයි තඩිබනවාය.
අපේ අම්ම නම් කියන්නේ අල්ලපු ගෙදර චන්දරේගෙන් තිබුන කරදරේ හැටියට මේක දාහෙන් සැපයි කියාය.
චන්දරෙත් නැති එකේ තාත්ත අපිට ආදරෙන් සලකුවනම් මීට වඩා සන්තෝසෙන් ඉන්න තිබුන නේද අම්මෙ?
අපේ තාත්තා පොලී මුදලාලිගෙන් ණයට සල්ලි අරන් රේස් ඔට්ටු දමා සැහෙන ගානක් පරදිනවාය.
අපේ අම්ම නම් කියන්නේ ණයට ගත්තු සල්ලිවලින් ගෙදරට ගත්තු පුෂ් බයිසිකලේ හරි ඉතුරුයිනේ කියාය.
තාත්ත සල්ලි නාස්ති කරේ නැත්නම් අපට කාරෙකක් ගන්න තිබුණ නේද අම්මෙ?
අපේ තාත්තා මට බස් එකට සල්ලි නැති නිසා පයින් යන්න කියා අයියාට අයිස්කිරිමක් ගන්න සල්ලි දුන්නේය.
අපේ අම්ම නම් කියන්නේ මේ වගේ සැප ලබන්න අයියා පෙර පින්කර ඇති කියාය.
මම පවු කරලද? මමත් තාත්තගෙම පුතෙක් නේද අම්මෙ?
අපේ තාත්තා අයියා එක්ක රණ්ඩු උනා කියා මට විතරක් හොඳටම ගැහුවේය.
අපේ අම්ම නම් කියන්නේ පොඩි එකා උනාම හරියට ඉන්න දැනගන්න ඕන කියාය.
පොඩි එවුන්ට විතරක් දඬුවම් කලාට ලොකු එවුන් කරන වැරදිත් වැරදිම නේද අම්මෙ?
අපේ තාත්තා අපේ ඉඩකඩම් වලින් වැඩි හරියක් පාලනය කරන්න දී තිබෙන්නේ අපේ බාප්ප්ලාටය
අපේ අම්ම නම් කියන්නේ වතුරට වඩා ලේ ඝනකම්නෙ පුතේ කියාය
සහෝදර කම කියල අපේ දේවල් බාප්පලාට හිතු විදිහට නාස්ති කරන්න දෙන එක හරි නෑ නේද අම්මෙ ?
අපේ තාත්තා බොරු චන්ඩි පාට් දාන්න ගිහින් පොලී මුදලාලි ඇරෙන්න මුළු ගමම එක්ක තරහය
අපේ අම්ම නම් කියන්නේ තාත්ත සිංහයෙක් වගේ ඉන්න නිසා මොකා තරහ උනත් අපිට මොකෝ කියාය
එලියට බහින්න බයේ ගේ ඇතුලට වෙලා සිංහ නාද දැම්මට සිංහයෙක් වෙන්නේ නෑ නේද අම්මෙ?
අපේ තාත්තා කරන කියන දේවලට මටනම් දැන් තිත්තම තිත්ත වෙලාය.
අපේ අම්ම නම් කියන්නේ මොනව උනත් උඹලගෙ තාත්තනේ කියාය.
නියම තාත්තල දරුවන්ට මෙහෙම සලකනවද? මේ වගේ උනුත් තාත්තලද අම්මෙ?
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
අපේ තාත්තා බොරු චන්ඩි පාට් දාන්න ගිහින් පොලී මුදලාලි ඇරෙන්න මුළු ගමම එක්ක තරහය
අපේ අම්ම නම් කියන්නේ තාත්ත සිංහයෙක් වගේ ඉන්න නිසා මොකා තරහ උනත් අපිට මොකෝ කියාය
එලියට බහින්න බයේ ගේ ඇතුලට වෙලා සිංහ නාද දැම්මට සිංහයෙක් වෙන්නේ නෑ නේද අම්මෙ?
අපේ තාත්තා කරන කියන දේවලට මටනම් දැන් තිත්තම තිත්ත වෙලාය.
අපේ අම්ම නම් කියන්නේ මොනව උනත් උඹලගෙ තාත්තනේ කියාය.
නියම තාත්තල දරුවන්ට මෙහෙම සලකනවද? මේ වගේ උනුත් තාත්තලද අම්මෙ?
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
Monday, December 01, 2014
බයියාගේ ඉලෙක්ෂන් කවි
සුමනේ ගෙන්නලා ඇහුවා සාස්තරේ
ග්‍රහයෝ ටොපේ ටොප් බැලුවම කේන්දරේ
ඉතිරිව දෙකක් තිබුනත් තව මෙදා සැරේ
තව ඉනිමකට යන්නයි මම ප්ලෑන් කරේ
මහින්ද බෝඩ් ගැහුවා අඩියෙන් අඩිය
බෙදුවා බෙදිල්ලක් හැමටම බෑ නොකිය
අරලිය දන්සලේ තුන්වේලම රෙඩිය
ඕපන් කෙරිලි ඕසෙට දවසත් මදිය
මමනම් ඇවිත් දැන් ඉන්නේ වළල්ලට
කෝ පොද්දා එන් නැත්තේ බයද මට
ඔය මොන එකා ආවත් මට කෙළින්නට
චන්දත් වැඩද මැදමුලනේ මහින්දට
ආප්ප කාල ගිය මගෙ ලේකම් මයියා
ගැහුවා කරණමක් වෙන්නට පොදු ටොයියා
දැක්කම ඉන්න සෙට් එක වටකර ගොයියා
පොඩ්ඩක් විතර බයවී ඇත මේ බයියා
වැල ඕපන් එතනින් නැහැ නතර උනේ
දත් දොස්තරයි තව ඩබලක් පනිනු පෙනේ
රතනෙයි චම්පිකයි හෙලයොත් ගියා අනේ
දැන්නම් සොහොන් ලකුණුත් ඉඳ හිටල පෙනේ
මල්ලිල දෙන්න ඇර වෙනකෙක් ෂුවර් නැත
යන්තම් අහක බැලුවොත් මුන් පනිනු ඇත
කෝටි දෙක තුනක් මිට මොලවලා අත
"යන් නෑ" කියල කියපන් මීඩියා වෙත
කිව්වේ ෆයිල් ගැන මුන් බය කරගන්ඩ
ඒකෙන් ගහනවා දැන් මට නැතිවෙන්ඩ
විමලේ මෙහෙ වරෙන් මේකෙන් බේරෙන්ඩ
කුමන්ත්‍රණේ ගැන නිතරම මතුරන්ඩ
ජනතාවගේ ඔළු ගෙඩි කිරි මැටි වේවා
වංචා අමතකව කලගුණ සිහි වේවා
ගොයි ටොයි හවුලෙ උන් ටික මකබෑ වේවා
මැරෙනාතුරුම මම මෙහි මහරජ වේවා
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
Monday, March 08, 2010
මාතෘකාව: ඕන එකක්, තහනම් වචනය: දේශපාලනය | Anything But Politics
පහුගිය දවස්වල ලියපු ලංකාවට හිම වැටුනොත් ලියමනට බොහොම හොඳ ප්‍රතිචාර ලැබිල තිබුනා. ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියත් ඒ ලිපිය උපුටාගෙන පල කරල තිබුනා. බොහොම සන්තෝසයි. ඒ කික් එකත් එක්කම බහිමුකො අද වැඩේට. වැඩේ කියන්නෙ කොහෙන් පටන් අරන් අරන් කොහෙන් ඉවර කරන්න ගියත් අන්තිමේදි දේශපාලන කොනක් ගෑවෙනවමයි. අනේ ඉතින් ඒකට මම මක් කොරන්නද දියවන්නා ඔය මැද්දට වෙලා රුපියල් පහේ බත් එක කාල කට්ටිය ගන්න තීරණ ඉතින් අපිට වාතයක් අරින්න උනත් බලපානවනේ. කොහොම උනත් ඔන්න අද නම් දේශපාලනය ගැන ලියන්නෙම නෑ කියල හිතාගත්ත. මල කෙලයයි මගෙ කරුමෙට හිතට එන හොඳ මාතෘකා ඔක්කොම දේශපාලනය ගැනනේ. කරන්න දෙයක් නෑ සහොදරවරුනි සහෝදරියනි මට ලියන්න හිතට එන එකම අදේශපාලනික මාතෘකාව 'මගේ දිනචරියාව' කියන නීරස මාතෘකාව විතරමයි. අනුන්ගේ කුණු හෙවීමට අකමැතිනම් මෙතනින් එහාට මේ ලිපිය නොකියවුවාට මගේ අබැටකවත් තරහක් නෑ හොඳේ.ඔන්න ඉතින් නිවාඩු දවසේ උනත් උදේ පාන්දර නැගිටින්න උනේ අල්ලපු ගෙදර රේඩියෝ එකේ මහ හයියෙන් දාලා තිබුන සින්දුව හින්ද. "ආයුබෝවේවා මහ..(දේශපාලනික නිසා මා විසින් ස්වයං වාරණයකට ලක්කරන ලදී.)" කියල කවුදො ලමිස්සියක් යටි ගිරියෙන් බෙරිහන් දෙනවා. ඉතින් මම ඒ ළමයගෙ දෙමවුපියොත් මතක් කරගෙනම ඇඳෙන් නැගිට්ට. නැගිටල ඇඟමැලි කඩ කඩ එද්දි ඉස්සරහට හම්බ උනේ අපේ නංගිව. "මොකද හලෝ අද පන්ති ගියෙ නැද්ද? විභාගෙත් ළඟයි නේද?" මම ටිකක් සැරෙන්ම ඇහුවෙ නංගිගෙ විභාගෙට තියෙන්නෙ තව මාස කීපයක් නිසා. "නෑ හලෝ අද අපිට පන්ති නෑ. මාසයක්ම නිවාඩු. අපේ සර් මේ පාර ..(යලිත් අදේශපාලනික මා විසින් ස්වයං වාරණයකට ලක්කරන ලදී.) ඉල්ලනවනේ. අපේ විභාගෙ වගේද සර්ට පරම්පරා ගානකට ගොඩයන්න තියන චාන්ස් එක. ෂුවර් එකටම අපේ සර් නම්..." නංගි කියාගෙන කියාගෙන යයි. "ඇත්ත ඇත්ත" මම ඇගේ කතාවෙන් ගැලවී බාත්රූම් එක පැත්තට ඇදුනෙමි. හරි බරි ගැසී වාඩි වී මගේ අවශ්‍යතාවය ඉටුකරගෙන හෝද ගන්න ටැප් එක අරිද්දී සුපුරුදු සන්තෑසියමය, වතුර බිඳක්වත් නැත. "මුන්ගෙ අම්...(දේශපාලනිකය. අසභ්‍යය. මෙය ස්වයං වාරණය නොකර මා කුමක් කරන්නද?)".
යානතම් අතපත ගාගෙන හෝදගෙන කරගෙන ආවෙ උදේට කන්න කියල හිතාගෙන. මේසෙ උඩ තියෙන්නෙ පාන් පෙති දෙකයි, මෙකනම් මට හැරෙන්නත් මදි. "අම්මේ වෙන පාන් නැද්ද?". "අනේ ලොකු පුතේ අද පාන් රාත්තලයි ගෙනාවෙ. ඊයෙ ඉඳන් පාන් ගණන්..(බඩු මිල ඉහල යාම ගැන කතා කිරීම දේශපාලනික බව මම විශ්වාස කරමි. ඉතින් කපමි). කොහොම හරි ඒ පාන් පෙති දෙක දඩිබිඩි ගාල ගිලදාල මම එලියට බැස්සෙ මේ වන විටත් මගේ ප්‍රියම්බිකාව ඊයෙ දා ගත්ත විදිහට ෆිල්ම් එකක් බලන්න යන්න මේ වෙනකොටත් ටවුන් එකට ඇවිත් මග බලන් ඉන්න බව දන්න නිසා. හුටා මොන යෑමක්ද. බයික් එකට නැගල ගහනව ගහවනව ස්ටාර්ට් වෙන්නෙ නැති නිසා බලද්දි තමා දැක්කෙ පෙට්‍රල් කඳුලක්වත් නෑ. "මල්ලී.. තමුසෙ ඊයෙ මේකට පෙට්‍රල් ගැහුවෙ නැද්ද?" දැන්නම් මට මලයා සමග උපරිම මලය. "මොන පෙට්‍රල් ගහනවද, ෂෙඩ් ඔක්කොම වහල. ස්ට්‍රයික් එකක්ලු. මේ ජේවීපී..(අනේ අපේ මලයා දන්න දේශපාලනයක් නැත. සමාවෙන්න කපමි. කපමි). ස්ට්‍රයික් කල උන්ගේ හත්මුතු පරම්පරාවටම පින් දිදී පයින්ම ටවුන් එකට ඇදෙද්දී පාර දෙපැත්තේ තාප්පවල එල්ලී ඉන්න පොලිටික්කෝ මට කොචොක් එකට මෙන් සිනාවෙයි. දෙන්න හිතෙනවා..(ස්.වා කරමි.)
දාඩිය පෙරාගෙන මම ටවුමට එද්දී මගේ සොඳුරියගේ මූණ බලන්න ලස්සනය. දන්න වැඩ දෙකතුනක් දාල ඇයවත් ෂේප් කරගෙන හෝල් එකට දිව්වේ ෆිල්ම් එක පටන් ගන්න හොඳටම ළඟ නිසාය. ඒත් හෝල් එක ළඟ බල්ලෙක්වත් නැත. මේ මොන කරුමයක්ද මම ළඟ සිටි කඩල වෙළෙන්ඳෙකු ළඟට කිට්ටු කලේ සිදුවී ඇති දේ විසරම් කිරීමටය. "අයියෙ, ඇයි මේ හෝල් එකේ අද ෆිල්ම් එක නැද්ද?". "ඇයි මල්ලි දන්නෙ නැද්ද. ඒ ෆිල්ම් එක ඊයෙ ඉඳන් තහනම් කරලනෙ. සංස්කෘ...". මගේ හිතට ආදේවල් ලියන්න ගිහොත් මේ මා ලියන අවසන් ලිපිය වනු ඇති. ඒ නිසා මගේ දිනචරියාවද 100% අදේශපාලනික ලිපියක් ලිවීමේ උත්සාහයද මෙයින් අවසන් කරමි.
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
Monday, February 22, 2010
සනා බෝයි මේ අහන්න, බලන්න මේ සුසී දිහා | Sana Boy, Learn from Her
"සනා මාතරින් ඡන්දෙ ඉල්ලන්න යනවා" මේ දැනට සති දෙකතුනකට පෙර කන වැකුණු ආරංචියකි. එය ඇසූ විට සිදුහත් කුමාරයා මුලින් දුටුදා අසිත තවුසාට ඇති උනාක් මෙන් මටද සතුටකුත් ඇතිවිය දුකකුත් ඇතිවිය. සතුටක් ඇතිවූයේ මහත්හොරුන්ගෙන් පිරි ඉතිරී ගිය පාර්ලිමේන්තුවේ සනා වැනි මහත්වරුද දකින්න ලැබෙන නිසාය. දුක ඇතිවූයේ මගේ ප්‍රියතම ක්‍රීඩකයා වූ සනාගේ වේගවත් පිති හරඹය මෙයින් මතු දකින්න ලැබෙන්නෙ නෑනේ කියා සිහිවූ නිසාය. දැන් සිද්ධිය ස්ථිරය. සනත් ටෙරාන් ජයසූරිය හෙවත් අප කවුරුත් දන්නා සනා බෝයි මහින්ද මාමාගේ පක්ෂය යටතේ මාතර දිස්ත්‍රික්කයෙන් තරඟයට පිවිස සිටී. වැඩේ නම් එල කිරිය. නමුත් පොඩි පරහක් ඇත.
පරහ නම් සනා දේශපාලනයේ යෙදෙන්න යන්නේ ක්‍රීඩාවේ යෙදෙන ගමන්මය. සනත්ට ක්‍රිකට් පාලක මණ්ඩලයේත් අනුමැතිය ලැබී ඇතිකොට මෙහි ඇති වරද කුමක්ද? අනර්කලී ආකර්ශාට රඟපාන ගමන් පලාත් සභාවට යන්න පුළුවන් නම් කරුණාරත්න දිවුල්ගනේට ගී ගයන ගමන් ආණ්ඩුකාරයෙක් වෙන්න පුළුවන් නම් විජයදාස රාජපක්ෂට නඩු කතාකරන ගමන් පාර්ලිමේන්තු යන්න පුළුවන් නම් සනාට ක්‍රිකට් ගහන ගමන් ඡන්ද කරන්න බැරි ඇයි? බැරි නැත පුළුවන්ය. නමුත් අනර්කලී, දිවුල්ගනේ, විජයදාස මෙන් නොව සනා නියෝජනය කරන්නේ රටයි. ලංකාවෙන්ම එකොලොස් දෙනෙකුට පමණක් වරකට ලැබෙන මෙම අවස්ථාව ගරු (වෙන්න) පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මැතිතුමා තවදුරටත් ලබාගැනීම සදාචාරාත්මකද? මේ ගැන මා කියනවාට වඩා හොඳින් සුසනතිකා කියා ඇත. (මේ සමග ඇති වීඩියෝ එක බලන්න.) නිතරම කට වරද්දාගන්නට ප්‍රසිද්ධ පැත්ත ගියත් ඇත්ත කියන සුසීගේ මේ කතාවටනම් ඇගේ කටේ මසුරං දැමිය යුතුය.
දේශපාලන සදාචාරය රෙද්ද පල්ලෙන් බේරෙන මේ රටේ මේකත් කජ්ජක්දැයි ඔබට ඇසිය හැකිය. කතාව ඇත්තය. නමුත් ජනතාවට එපාවූ දේශපාලුවන් මෙන් නොව සනා තවමත් ජනතා වීරයෙකි. පන්දම් නොඅල්ලා දුර ගමනක් ගිය සනා නායකත්වයෙන් නම්බු පිටින් ඉල්ලා අස්වූ සනා මෙවරත් තම මහත්මා ගතිය රැකගන්නේනම් මැනවි යන්න අපේ අදහසයි. නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ සනා අළුත් ගමන පටන්ගත් තැනම වරද්දාගත් බවයි.
සනා බෝයි නුඹ තවමත් ප්‍රමාද නැත... තීරණයක් ගැනීමට තවත් ටික කාලයක් ඉතිරිව තිබේ...
ප.ලි: මුරලිත් මහනුවරින් තරඟයට එන බව දැනගන්නට ඇත. ඔහුටත් කීමට ඇත්තෙ මේ ටිකමය. මුරලි අයියෙ මේ අහන්න, බලන්න මේ සුසී දිහා. බලල හැදෙන්න.
වීඩියෝ එක ඉස්සුවේ ඩේලි මිරර් එකෙන්
Thursday, February 18, 2010
ලංකාවට හිම වැටුනොත් | Talks from Snowy Sri Lanka
ඉතින් මේ 'සිංහලේ මහා හිම පතන මංගල්‍යය' සම්පූර්ණයෙන් කවර් කරන්න මගේ මේ පුංචි බ්ලොග් එකේ ඉඩ නැති නිසා හිම වැටෙන වෙලාවෙ ප්‍රවෘත්ති වලට දෙන්න ගත්ත වොයිස් කට් කිහිපයකින් වැඩේ ගොඩදාන්නම්.
ගරු ජනාධිපතිතුමා: මාගේ රට වැසියනි. මේ සතුටුදායක මොහොතේ ඔබ අමතන්න ලැබීම මටත් හරිම සතුටක්. මම මගේ චින්තනයෙන් දුන් පොරොන්දු සියල්ල ඉටුකර අවසන් නිසා ඔබ වෙනුවෙන් කුමක් කලයුතුදැයි කල්පනා කරන විට මට මතක් උනා අපේ රටට කලක පටන් අඩුපාඩුවක්ව පැවති හිම ගැන. ඉතින් මම අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡාකොට ඒ නොදුන් පොරොන්දුවත් ඉටුකරමින් හිම වැස්සක්ම වැස්සවීමට කටයුතු කල බව මම බොහොම ආඩම්බරයෙන් කියන්න කැමතියි.
ගරු විපක්ෂනායකතුමා: හිම වැටෙද්දි මමත් එලියට බැහැල බැලුව මොකද්ද මේ වෙන්නෙ කියල. එතකොටම මට තේරුම්ගියා මෙතන මොකක් හරි යටි අරමුණක් තියනවා කියල. පස්සෙ පොඩ්ඩක් හොයල බලද්දි තමා මට දැනගන්න ලැබුනේ මේ හිම නිකම්ම හිම නෙමේ පර්සි රාජපක්ෂගේ නංගිගේ දුවට ස්කී කරන්න ගෙන්වපු හිම කියලා. රාජපක්ෂලාට විතරද ස්කී කරන්න හොඳ? අපේ මේ නංගිලල මල්ලිලට ස්කී කරන්න හොඳ නැද්ද? අපි හැමෝම මේ දූෂණයට එරෙහිව නැගීසිටින්න ඕන.
ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා: සහෝදරවරුනි සහෝදරියනි, මම තමුන්නාන්සේලට කියන්න ඕන මේ හිම වැස්ස අහම්බෙන් වැටිච්ච හිම වැස්සක් නෙමේ. නෝරුවේ යූඑන්පී ජේවීපී කියන මේ අශුද්ධ සන්ධානය එකතුවෙලා අපේ මාතෘ භූමියට එරෙහිව කල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේක උනේ. අපි දිවි නොතකා මීට විරුද්ධව සටන් කල යුතුයි. මේ කුමන්ත්‍රණය පරාජය කල යුතුයි.
ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා: අර අපෙන් ගිය හාදයෝ අරහෙට වෙලා බෙරිහන් දෙනවා කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කිය කිය. මම ඔය එක එක ඌරන්ගේ කතා වලට උත්තර දෙන්න යන්නේ නෑ. හැබැයි තව ටික දවසකින් තමුන්නාන්සේලට බලාගන්න පුළුවන්වෙයි සැබෑ කුමන්ත්‍රණය මොකක්ද කියන එක. මේවනවීටත් මේ වැටුන හිම මේ රටේ ජනතාවගේ පාවිච්චියට නොගෙන රට පැටවීමට මහින්ද රාජපක්ෂ ගිවිසුමක් ගසා ඇතිබව අපිට ඔප්පුකරල පෙන්නන්න පුළුවන්.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි: ඇත්තටම මේ හිම වැටීම ඔබතුමන්ලට අරුමයක් උනාට මටනම් අරුමයක් නෙමෙයි. මොකද මම කරපු ගවේශණ වලදි මට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවෙලා තියනවා අවුරුදු දහස් ගණනක් පැරණි හිම කැට. ඒ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් මීට අවුරැදු දහස් ගානකට කලින් ලොව සියළුම රටවලට උඩින් තිබූ බවටත් ඒ නිසාම අපිට විශාල වශයෙන් හිම ලැබීම සිදුවූ බවටත්.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය: දැන් බලන්න ඒ දවස්වල මම රට පාලනය කරන කාලෙ තමුන්නාන්සේලට මේ වගේ ප්‍රශ්න තිබුනද? තමුන්නාන්සෙල දෙයියනේ කියල කාල ඇඳල සන්තෝසෙන් හිටියනේ. ඒ කාලෙ මේ වගේ දෙයක් උනානම් මම වහාම උපදෙස් දෙනව ඒ ගැන ක්‍රියා කරන්න කියල. ඒත් දැන් ඉන්න පාලකයන්ට තමුන්නාන්සේලගේ දුක ගැන වැටහීමක් නෑ.
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා: මමනම් මේක දකින්නේ ධනපති පන්තිය විසින් නිර්ධනයන් වෙත ඇටවූ උගුලක් හැටියට. මේ රටේ පීඩිත පන්තියේ ජනතාව මේ ධනපති ක්‍රමයට විරුද්ධව සටන් කිරීමට ඉතාමත් ආසන්නවෙලා ඇති මේ වෙලාවෙ මේ වගේ ටොපියක් පෙන්නල ජනතාවගේ අවධානය වෙනතකට යොමුකරන්න තමයි මේ පාලකයෝ සූදානම් වෙන්නේ. ඔය පාලකයන්ට මම කියන්න ඕන ඔය මොනව කලත් අපේ රටේ පීඩිත අරගලය ළඟඳීම දියත්වෙනවා ඒක වලක්වන්න කාටවත් බෑ කියල.
ජැක්සන් ඇන්තනි කලාකරුවා: අපි මේ මාතෘ භූමියෝ ඉතිහාසය වෙත ඇස යොමා බැලුවොත් අපිට පෙනෙන්න තියනවා එදා දූට්ඨ ගාමිණී අභය රජ සමයේ ස්වර්ණමාලී චෛත්‍යරාජයානන්ගේ කොත් පළඳන විටත් මහා හිම වරුසාවක් ඇදවැටී ඇතිබව. මේ රටේ ජනමූල සංස්කෘතික වීරයන් බිහිවූ හැමවිටම ඒ වගේ විපරියාස වෙලා තියනවා. දූට්ඨ ගාමිණී අභය කියන්නෙත් එහෙම වීරයෙක්. අදත් අපිට එහෙම වීරයෙක් බිහිවෙලා ඉන්නවා. ඒ පිනට තමා මේ ආශ්චර්යයන් සිද්ධවෙන්නේ.
උපේක්ෂා ස්වර්ණමාලී (පබා) කලාකාරිය: මම මගේ රසික රසිකාවියන්ට කියන්න ඕන හිම කියන්නේ හරිම සුන්දර දෙයක්. පොත් වලින් දැකල තිබුනට මමත් අද තමා ඇත්තටම හිම දැක්කේ. මම දන්නවා ඔයාලා මාව අයිටීඑන් එකේ දකින්න නැති නිසා ගොඩාරියක් දුකෙන් ඉන්නේ කියල. මම ඔයාලගෙන් ඉල්ලාහිටින්නේ මාව පබා ටෙලිඩ්‍රාමා එකෙන් අයින් කරල ඔයාලගේ හිත රිද්දපු මේ දුෂ්ඨ ආණ්ඩුව පලවා හරින්න මාත් එක්ක එකතුවෙන්න කියල.
සාමාන්‍ය ජනයාගෙන් කෙනෙක්: අනේ ඇත්තට මහත්තයෝ මුන්ට පිස්සුද? හැටිද? අපි මේ සීතලෙන් බඩසායෙන් දැවෙනවා. මෙයාල මෙහෙ බයිල ගහනවා. මහත්තයො මේ... මහත්තයලත් අපේ ගිනි අරන් ඉන්න රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්න හදන්නෙ නැතුව ඔය හුචක්කුව පැත්තකින් තියල පොඩ්ඩක් උදව්වෙන්න මේ ගිනිමැලේ ගහගන්න. පේන්නෙ නැද්ද මේ පොඩි එකා සීතලේ ගැහෙන හැටි.
කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට......
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
Monday, February 15, 2010
කඩු පසෙකට හෙල්ල අතට | Let's Do It Our Way
සකල සිරින් පිරි සිරිලංකාවේ
වැප් කියලා
කොළුවෙකු සිටිනා
සිංහලකරණය
කියලා කවියක්
ඒ කොළුවා
පද බැඳලා තිබුනා
ඒක කියවමින්
ඉන්නා දසයගෙ
කවි සිතුවිලි
අවදිව එන්නා
සබේ සියල්ලනි
අවසර එහෙනම්
මම ඒ සිතුවිලි කවි කරනා..
සිංහල බ්ලොග් අවකාශේ
අපේ අයගෙ හරඹ දැකල
හිතට නැගෙන දේ ලියන්න
දසයලටත් ආස හිතුන
කොච්චර රසවත් දේවල්
කඩ්ඩෙන් ලිව්වත් කිව්වත්
හිතට කිසිම රහක් නෑනෙ
හෝටලයෙන් කෑව වගේ
කාපු හැටිද බීපු හැටිද
බයිස්කෝප් බලන හැටිද
කොම්පුටර් වැඩ කෑලිද
රටේ ලෝකෙ දකින හැටිද
මෙකීනොකී හැමදෙයක්ම
එක තැනකින් බලාගන්න
තියන දැනුම බෙදන ගමන්
නොදන්න දේ ඉගන ගන්න
එන්න එන්න සැවොම එන්න
මේක අපිට වෙන්වුන තැන
කඩු පසෙකට හෙල්ල අතට
බස රැකගෙන යමු සටනට
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
මේක අයිති මෙන්න මේ ගොඩට:
පල්හෑලි
Thursday, February 11, 2010
මට හමුවුන වැලෙන්ටයින් | Valentine I Met
අපේ ආච්චි අම්මාට අනුව සාන්තුවරයෙකු වූද අල්ලපු ගෙදර චූටි අක්කාට අනුව උත්තරීතර ප්‍රේමයේ සංකේතය වූද ලොකු මාමාට අනුව සංස්කෘතිය සභ්‍යත්වය විනාශකරන්නට අධිරාජ්‍යවාදී බළල් අතක් වූද පොඩි මස්සිනාට අනුව නියමෙට විකිනෙන අයිටම් එකක් වූද වැලන්ටයින් හෙවත් වැලා මගේ ජීවිතයේ විවිධ වකවානුවලදී මට හමුවී ඇත. ඒ ගැන කෙරෙන කෙටි සටහනකි මේ.මට මුලින්ම වැලෙන්ටයින් හමුවන්නේ වයස අවුරුදු අට නමය කාලයේ ගෙදරට සීනි ඔතාගෙන ආ මල් පත්තර කෑල්ලකින්. නපුරු පාලකයන්ගේ අත්තනෝමතික නීති වලට එරෙහිව සටන් වැදුන ඔහුගේ ලොමුදැහැගැන්වෙන කතාව කියවූ මම එයට වශීවෙමි. ලොකු උන දවසක ඒ වගේ අසාධාරණය ඉදිරියේ නැගීසිටින චරිතයක් වෙන්නට හිතාගනිමි.
ඉන් පසුව මට ඔහුව මුණගැහෙන්නේ ශිෂ්‍යත්වය සමත්වී අළුත් ඉස්කෝලයට ගියපසුය. ලොකු පන්තිවල අයියලා අක්කලා මිස්ලට සර්ලට හොරෙන් රෝස මල් දෙන හැටි චොකලට් බෙදාගන්නා හැටි මම කට ඇරගෙන බලා ඉඳිමි. ලියුමක් එහා මෙහා ගෙනයාමේ කුලිය ලෙස ලැබෙන චොකලට් පෙත්ත රසවිඳින මට වැලෙන්ටයින් හරි ෂෝක් කියා සිතේ.
දහය එකොලහ පන්තිවලට එද්දී මට පසුව බඩු බැහැපු උන් බඩු දෙක තුන දාගද්දී කොච්චර කකුල් ගෑවත් බඩුවක් නොවැටුන මම වැලෙන්ටයින් පහුකරන්නේ මිනිහගේත් බඩු දාගත්ත උන්ගේත් අම්ම මුත්තා මතක්කරමිනි.
ඒ ලෙවල් විභාගය ලංවෙද්දී වැලා ඉස්සරහටම හම්බ උනත් මචං පස්සේ කතා කරමු කියා මම මාරු වෙන්නේ විභාගය කෙල උනොත් ඔක්කොම කොට උඩ නිසාය.
කැම්පස් එකේ පළමු වසර දෙකේදී මට වැලෙන්ටයින් අරහංය. අපේ සංස්කෘතිය විනාස කරන මේ විකාර වැඩ වලටත් ඒවාට උඩගෙඩි දෙන ජනමාධ්‍යවලටත් මම පළු යන්න බනිමි. ඒවාට අසූවී වැනසෙන අපේ මෝඩ රැල දෙස බලා සරදමට සිනාසෙමි.
තුන්වෙනි වසරේදී මටත් කෙල්ලෙක් වැටෙයි. මෙච්චර කල් බැන්නාට වැලෙන්ටයින්ගේ දෙපා මුල වැඳවැටී සමාව ඉල්ලන්න තරම් මට සිතේ. කාටත් හොරෙන් හන්දියේ කඩෙන් ගත් රෝස මල කවුරුත් නැති තැන කෙල්ලගේ අතට දෙන්න (ඉස්සර කියපු කතාවල හැටියට ලැජ්ජයිනේ කවුරුත් දැක්කොත්), කෙල්ලත් ඇදගෙන ෆිල්ම් හෝල් එකකට රිංගන්න, අයානකට වෙලා අයිස්ක්‍රීම් එකක් තොලගාන්න, මට වැඩ කෝටියකි. වැලා තමා පොර.
මේ ලිපිය ලියමින් ඉන්නා විට මගේ බිරින්දෑගේ හඬ ඇසේ "මේ.... වැලන්ටයින් ළඟ එනවා නේද". "ආ ඇත්තද? බෙරිහන් දෙන්න එපා, පොඩි එකා නිදි නේද?" මම නැවතත් පරිගණකය වෙත හැරෙමි.
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
මේක අයිති මෙන්න මේ ගොඩට:
පල්හෑලි
Tuesday, February 09, 2010
දසයා රෑ දුටු දවල් හීනය හෙවත් නැන්දම්මා ලේලි සහ ජනාධිපතිවරණය | Dasaya's Day Dream at Night
පහුගිය ටිකේම ගීතා කුමාරසිංහලා, දයාසිරි ජයසේකරලා, නිමල් සිරිපාලලා දුන්න ආතල් බල බල රෑ වෙනකල් නිදිමැරුවත් දැන් ඉතින් ඡන්දෙත් සමගම ඒ ආතලුත් ඉවරවීම නිසා ටිකක් වේලාසන ඇඳට ආවා. ඔන්න බොලේ නින්දත් නොනින්දත් අතර ඉද්දි මටත් පෙනුනෙ නැතෑ මරු හීනයක්. බැලූ බැල්මටනම් මේක දවල් හීනයක් වගේ ඒත් මේක රෑක පෙනුන දවල් හීනයක්.ඔන්න මට මුලින්ම පේන්න ගත්තේ ගමක තියන පුංචි ගෙයක්. මාත් පොඩ්ඩක් ලංවෙලා රබර් ඇහැදාලා බැලුවා මොකද ඒ පැත්තේ වෙන්නේ කියල. පෙනුන හැටියට වෙසක් පෝය පහු උනා විතරයි වගේ ගේ ඉස්සරහ එල්ලපු වෙසක් කූඩු බල්බ් වැල් එහෙමත් තාම එහෙමමයි. ගෙදර කට්ටියම එකතුවෙලා පොඩි පාටියක්. කට්ටියම කිව්වට මහ ගොඩක් නෑ තුන්දෙනයි. ගෙදර අම්මයි පුතයි පුතාගෙ බිරින්දැයි තමයි එකතුවෙලා පාටිය දාන්නේ. මටත් ඉතින් හීනෙන් උනත් කට පියාගෙන ඉන්න බෑනෙ, අහල බැලුව මොකද මේ කට්ටිය පාටි දාන්නෙ කියල. යකඩෝ මේක එසේ මෙසේ පාටියක් නෙමේ ජයග්‍රාහී පාටියක්. නැන්දම්මල ලේලිල ඔක්කොම එකතුවෙලා අල්ලපු ගෙදරට වෙලා අවුරුදු ගානක් නගරංදාපු මරු සිරාව ගහල පන්නල. ඒක සමරන්න තමයි මේ පාටිය. බලන්න එපෑයැ ඒකෙ ජය, කිරිබත්ද කේක්ද බීමද අතුරුපසද නැති දෙයක් නෑ.
මමත් ඉතින් අංජනමක් බලනවා වගේ හීනෙ දිහා බලාගෙන ඉද්දි ඔන්න සීන් එක මාරු උනා මාස දෙක තුනක් ඉස්සරහට. මෙන්න බොලේ නැන්දම්මයි ලේලියි දෙන්නා දෙපැත්තට වෙලා අහස පොලව ගැටලන්න වගේ කල්පනා කරනවා. ඔන්න දැන් නැන්දම්මට හිතිල අර සිද්ධියෙන් පස්සෙ ලේලිට පුතාගෙන් ලැබෙන ඇළුම් බැළුම් වැඩියි වගේ කියල. "කොයිවෙලේ බැලුවත් මුන් දෙන්නගෙ මුකුලුවමයි. ලේලිගෙ අතපය හයි හත්තිය වැඩි නිසාත් ඉස්සරහට පැනල පපුවදීගෙන කෑගහපු නිසත් අපේ එකා හිතනවද දන්නෙ නෑ මේකි තමා ඔක්කොම කලේ කියල. හරි ඒක එහෙම තමයි කියමුකො, ඒත් මුලු සිද්ධිය වෙලාවෙම කන්න බොන්න ටික ළඟට ගිහින් දීල අර පෝරිසාදයට තඩිබාන්න වැටෙන් පොළු කඩල අතට දිල මම කරපු සුමේ නැත්නම් මුන් වෙලහකටත් ගුටිකාල පත්තු බඳිනව." කියල තමා නැන්දම්මට හිතෙන්නෙ. ලේලිට හිතෙන දේවලුත් මීට නොදෙවනි නෑ. "මම මගේ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව ගුටිකාගෙන ගිහිල්ල මේක ඉවරයක් කරලත් මේ මහ ගෑණිගෙන් මට නෑනෙ කිසිම සැලකිල්ලක්. අනේ අම්මප වෙලාවකට හිතෙනවා මුන්දැට ඕන කෙංගෙඩියක් කරගන්න දීල පැත්තකට වෙලා හිටියනම් කියල. එතකොටවත් තේරෙයිනෙ මගෙ අගේ." ඒ අතරේ මේ වයසක උන්දව පන්නල දාල මේ ගේ දොර ඉඩ කඩම් ටික අයිතිකරගන්න ඇත්නම් කියලත් ලේලිට නොහිතුනාම නෙමේ.
කොහොමින් කොහොමින් හරි මේ නොහොඳ නෝක්කාඩු පුපුරල ගිහින් බැස්සෙ නැතැයි ලේලි මහපාරට. ඔන්න දැන් ලේලි කඩුල්ලගාව ඉඳගෙන නැන්දම්මට චැලෙන්ජ් කරනවා සටනට එන්න කියල. නැන්දම්මත් ඇරියෙ නෑ රෙද්දත් හොඳට තදකරල ඇඳගෙන බැස්ස ඔන්න සටනට. දැන්නෙ යකඩෝ කට්ටිය එන්නෙ, ලේලිට වැඩේ ලේසි ැවන්නෙ නෑ වගේ. කුස්සියෙ වළං හෝදන කොල්ලයි රෙදි නැන්දයි පන්සලේ හාමුදුරුවොයි ඔක්කොම නැන්දම්මගෙ පැත්තෙ. ලේලිත් අරින්නෙ නෑ, හන්දියෙ ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එකයි මස් කඩේ මුදලාලියි පොකට් සුදයි කට්ටියම ඔන්න ලේලිට සෙට් වෙලා. දෙගොල්ලොම දෙපැත්තට වෙලා පළු යනකල් බැව ගන්නවා. විලි ලැජ්ජාවෙ බෑ ඒ අස්සෙ සමහරු රෙදිත් උස්සල පෙන්නනව. නැන්දම්මයි ලේලියි දෙන්නටම හපන් වටේ ඉන්න සෙට් එක. උන් ටික වයින් කරපු බෝනික්කො වගේ පැටලෙන්නමයි යන්නෙ. ලේලි පාරෙ යද්දි කොල්ලන්ට ලයින් දාපු හැටියි නැන්දම්ම ගෙදර කෑම ලොකු පුතාගෙ ගෙදරට ඇදපු හැටියි කතන්දර කෝටියයි.
ගෙදර මෙච්චර දෙයක් වෙද්දිත් කෝ මේ ගෙදර පුතා? මූ කොහෙට මකබෑ උනාද. අනේ මේ ඉන්නෙ කොලුව වැට උඩට නැගල. අනේ ඌ එහාට වැනෙනවා මෙහාට වැනෙනවා. ලේලි ඇවිල්ල අතින් අදිද්දි සිරියහනේ සුව මතක් වෙලාද කොහෙදෝ ඒ පැත්තට පනින්නම හදනවා. නැන්දම්ම ඇවිල්ල අතින් අදිද්දි බිව් රන් කිරි මතක් වෙලා වෙන්න ඇති ඒ පැත්තට යන්නයි හිත. කොහොමින් කොහොමින් හරි බෙල්ල උළුක් වෙනකල් එහාට මෙහාට වැනිල වැනිල වැනිල "මට පස්සෙ ආපු අඟට වඩා මුලින් ආපු කන වටිනෝ" කියාගෙන පැන්නෙ නැතෑ අම්මගෙ පැත්තට. අනේ ඒ එක්කම මාවත් දඩස් ගාල ඇහැරුනා. (ප.ලි. ඔය නැන්දම්මගෙ ලේලිගෙ චරිත වලට ඔයාල කැමති කෙනෙක්ව දාගත්තට කමක් නෑ. මට හිතෙන්නෙම ඔය පුතානම් මමමයි කියල.)
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
Subscribe to:
Posts (Atom)




