Friday, July 10, 2015

බල්ලා බැඳ දමනු!

ඔන්න එකෝමත් එක රටක ගමරාල කෙනෙකුයි බල්ලෙකුයි සන්තෝසෙන් ජීවත් උනාලු. ටික කාලයක් මෙහෙම ඉද්දි බල්ලට පිස්සු හැදිල මිනිස්සු හපාකන්න පටන් ගත්තලු. බල්ලගෙන් බේරෙන්නම බැරි තැන ගමේ මිනිස්සු ටික එකතුවෙලා අමාරුවෙන් ගමරාලවත් කැමති කරගෙන බල්ලව අල්ලල කූඩුවකට දැම්මලු. වැඩි පරිස්සමට කියල කූඩුවෙ යතුරත් ගමරාලටම දුන්නලු. බල්ල කුඩුවෙ දාපු වෙලේ ඉඳන් ගමේ හිටපු ඔක්කොම බල්ලො ටික පිස්සු බල්ලගෙ කූඩුව වටේට එකතුවෙලා අපේ අහිංසක බල්ලව අරින්ඩෝ කියල උඩුබුරන්න පටන් ගත්තලු. මේක කන්කරචලයක් උනත් ඔන්න ඔහෙ උන්ටම ඇතිවෙලා නවත්තයිනෙ කියල ගමේ මිනිස්සු කරබාගෙන හිටියලු. ඒ වුනාට මේ සද්දෙ ඇහෙද්දි ගමරාලට නින්ද යන්නෙම නැහැල්ලු. මගෙත් එක්ක සැහෙන කාලයක් එකට හිටපු බල්ල නේද කියල වෙලාවකට හිතෙනවලු. ඒවුනාට මූ එළියේ හිටියනම් වෙලහකට මාවත් කාල නේද කියල තව වෙලාවකට හිතෙනවලු. දැන් ගෙදර ආරක්ෂාවට හිටපු බලලත් කූඩු කරල ඉන්න එකේ අල්ලපු ගෙදර සේතන් ගොයිය ඇවිත් අපේ ගෙදර ලගියිද දන්නෙ නෑ කියල තව වෙලාවකට හිතෙනවලු. ඔහොම හිතල හිතලම ගමරාලට සාංකාව වගේ හදුනලු. කරන කියන දේවල් මතකත් නෑලු. ගෙදර නෝනට එකක් කියනවලු ටිකකින් එහා ගෙදර සේතන් ගොයියට ඊට හාත්පසින්ම වෙනස් එකක් කියනවලු, බල්ලව අරිනවා කියනවලු නෑ කියනවලු, බල්ල ඇරල අනික් බල්ලන්ට ගහල පන්නනව කියනවලු, එක විකාරයයිලු. ඔය අස්සෙ බල්ල අල්ලන්න ඉස්සරහින්ම ගිය සේතන් ගොයිය මිනිහගෙ යාළුවො කට්ටියක් එක්ක සෙට් වෙලා රෑට රෑට ගමරාලගෙ වත්තෙ පොල් බානවලු. එක දවසක් ගහ උඩ හිටපු එකෙක් අතේ මාට්ටු උනාම තණකොළ ටිකක් කපාගන්නමයි යැව්වෙ කියල දහ අතේ දිවුරනවලු. මේ ඔක්කොම ජරමර අස්සෙ ගමරාල තෙපර බබා ඉඳල ඉඳල හොඳ නැකතක් එහෙම බලල බලු කූඩුවෙ දොර ඇරල දැම්මලු. අනේ ඉතින් මිනිස්සු අමාරුවෙන් බැඳල දාපු බල්ල මෙන්න ආයෙ පුරුදු විදිහටම දඩාවතේ යනවලු. ගමයත් එක්ක බල්ල අල්ලන්න උදවු කරපු උන්ව දැක්කම අන්ඩක් එහෙම උස්සල කින්ඩි දානවලු. හැබැයි බල්ල ගමරාලටනම් වෙනදටත් වඩා ආදරෙයිලු. ළඟටම වෙලා කෙඳිරි ගගා ඉන්නවලු. හැබැයි ගමේ මිනිස්සුනම් කියන්නෙ බල්ලගෙ ඔය සිල් පුර හඳ පායනකල් විතරයි, කට්ටියම එකතුවෙලා එදාට බල්ලො සෙට් එකම එලෝල දැම්මෙ නැත්නම් බබිත් සුන් බබීගෙ අම්මත් සුන් ගමරාලත් සුන් කියලලු. - දසයා

11 comments:

  1. දෙදාස් ගණන් වල මුලභාගයේ දවසක හම්බන්තොට දිස්ත්‍රික් මායිමේ පිහිටි නගරයකදී සති අන්ත සන්ධ්‍යාවක අපි සෙට් වීමු.මීවිත සහ දඩමස් බයිට් සමග දේශපාලන කතා බහ මෙවැනි සාද වලට ලුණු ඇඹුල සැපයීය.නිමල් අයියා අපේ ගැන්සියේ අනිවාර්ය මෙම්බරයෙකි.අසූ ගණන්වල භීෂණ සමයේ රුහණු සරසවි සිසුවෙක් වූ ඔහු ශිෂ්‍ය දේශපාලනයේ යෙදීම නිසා ආණ්ඩුවේ හමුදාවේ ඉලක්කයක් වී පණ බේරා ගැනීමට එවක හම්බන්තොට විපක්ෂ මන්ත්‍රී කෙනෙකු වූ මහින්ද රාජපක්ෂගේ පිහිට පැතුවෙකි.මහින්ද මෙවැනි බොහෝ දෙනෙකුට තමුන්ගේ කාල්ටන් නිවසේ රැකවරණය දුන්නේය.හිලවු වශයෙන් ඒ බොහෝ දෙනෙකුට මහින්දගේ දේශපාලන වැඩ කටයුතු සමග සමීපව සම්බන්ද වන්නට සිදුවිය.ඒ නිසාම අප කථානායක නිමල් අයියාද මහින්දගේ හතර මායිම හොඳින් දැන උන්නේය.අයෙත් අපේ සන්ධ්‍යා සාදයට....ඒ ජනපතිනි චන්ද්‍රිකා මහින්දට පල නොකියා පලා බෙදන යුගයයි.අද වගේම එදාත් දකුණේ තැන තැන මහින්ද අගමැති කල යුතු යැයි කෑ ගසද්දී මහින්ද හොර ගල් අහුලමින් උන්නේය.නිමල් අයියෙ බොලාගෙ ලොක්කට මක්ක වෙයිද? එකෙක් කතාබහට මුල පිරුවේය.මෙච්චරයි මල්ලි අපේ ලොක්ක ෆේස් ටු ෆේස් ෆයිට් කරන් නෑනෙ. යටිං ගේම තමයි ලොක්කයි තියරිය..ඒ වගේ අංකූරෙක් මුළු පාර්ලිමේන්තුවේම නැතුව ඇති.බලං ඉඳහන් ලොක්ක කල් මර මර ගේමක් ගහයි.හැබැයි චන්ද්‍රිකා නෝන ලොක්කට අගමැති කම දුන්නොත් නෝන චකබ්ලාස්ට්! ඒ විතරක් නෙමෙයි බලේ ගත්තොත් මොන දහං ගැටයක් හරි දාල මැරෙනකං අතරින්නෙත් නෑ....පහුගිය ජනවාරි 8 නිමල් අයියා අවුරුදු දහ පාලොවකට කලින් කියූ දේ මතක් වී සිනා පහල විය.අනේ උඹයි උඹේ ලොක්කයි...දැන් නිමල් අයියා කොහේ ඉන්නවාදැයි මම නොදනිමි...ඒත් නිමල් අයියේ හිනා උනාට සමාවෙයන්.උඹ හරි බව උඹේ ලොක්කා නැවතත් ඔප්පු කරමින් සිටී

    ReplyDelete
  2. බල්ලොත් දැක අත, මෙවන් බල්ලෙක් සම්මත් ජාතියෙවත් දැක නැත. අසා ඇත්තේ සිම්බාබ්වේ රටේ මේවගේ එකෙක් ඉන්නවා කියා පමණි.

    ReplyDelete
  3. ඒක නං පට්ට කොමඩිය ඔව් සීරියස් ජෝක් එකක්...
    දැං සමහරුන්ට හිනා වෙලා වැඩි වෙලා ඇඩෙන ගමන්

    ReplyDelete
  4. අගෝස්තු 17 පස්සේ බල්ලාගේ වැඩ ඉවරයි.

    ReplyDelete
  5. දසම කතාවක් දසේ

    ReplyDelete
  6. ඉතින් ඕකට තියෙනෙන් චන්දය නිවැරදිව පාවිච්චි කරන්න.
    http://nelumyaya.com/?p=3524

    ReplyDelete
  7. උඹ මොන දසයෙක්ද? බල්ලනෙ දසයා...

    ReplyDelete
  8. මචන් උඹ කිවයුතු දේ ලෙසටම කියා ඇත.

    ReplyDelete
  9. කවදාවත් නැතිව මං ටියුබ් ලයිට් උනා නෙව.පස්සෙ තේරුනේ.හිකිස්

    ReplyDelete
  10. සුපිරියටම කියලා තියෙනව අදනම්.

    බල්ලගෙ කරපටිය!

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.