Thursday, February 11, 2010

මට හමුවුන වැලෙන්ටයින් | Valentine I Met

අපේ ආච්චි අම්මාට අනුව සාන්තුවරයෙකු වූද අල්ලපු ගෙදර චූටි අක්කාට අනුව උත්තරීතර ප්‍රේමයේ සංකේතය වූද ලොකු මාමාට අනුව සංස්කෘතිය සභ්‍යත්වය විනාශකරන්නට අධිරාජ්‍යවාදී බළල් අතක් වූද පොඩි මස්සිනාට අනුව නියමෙට විකිනෙන අයිටම් එකක් වූද වැලන්ටයින් හෙවත් වැලා මගේ ජීවිතයේ විවිධ වකවානුවලදී මට හමුවී ඇත. ඒ ගැන කෙරෙන කෙටි සටහනකි මේ.

මට මුලින්ම වැලෙන්ටයින් හමුවන්නේ වයස අවුරුදු අට නමය කාලයේ ගෙදරට සීනි ඔතාගෙන ආ මල් පත්තර කෑල්ලකින්. නපුරු පාලකයන්ගේ අත්තනෝමතික නීති වල‍ට එරෙහිව ස‍ටන් වැදුන ඔහුගේ ලොමුදැහැගැන්වෙන කතාව කියවූ මම එයට වශී‍වෙමි. ලොකු උන දවසක ඒ වගේ අසාධාරණය ඉදිරියේ නැගීසිටින චරිතයක් වෙන්නට හිතාගනිමි.

ඉන් පසුව මට ඔහුව මුණගැහෙන්නේ ශිෂ්‍යත්වය සමත්වී අළුත් ඉස්කෝලයට ගියපසුය. ලොකු පන්තිවල අයියලා අක්කලා මිස්ලට සර්ලට හොරෙන් රෝස මල් දෙන හැටි චොකලට් බෙදාගන්නා හැටි මම කට ඇරගෙන බලා ඉඳිමි. ලියුමක් එහා මෙහා ගෙනයාමේ කුලිය ලෙස ලැබෙන චොකලට් පෙත්ත රසවිඳින මට වැලෙන්ටයින් හරි ෂෝක් කියා සිතේ.

දහය එකොලහ පන්තිවලට එද්දී මට පසුව බඩු බැහැපු උන් බඩු දෙක තුන දාගද්දී කොච්චර කකුල් ගෑවත් බඩුවක් නොවැටුන මම වැලෙන්ටයින් පහුකරන්නේ මිනිහගේත් බඩු දාගත්ත උන්ගේත් අම්ම මුත්තා මතක්කරමිනි.

ඒ ලෙවල් විභාගය ලංවෙද්දී වැලා ඉස්සරහටම හම්බ උනත් මචං පස්සේ කතා කරමු කියා මම මාරු වෙන්නේ විභාගය කෙල උනොත් ඔක්කොම කොට උඩ නිසාය.

කැම්පස් එකේ පළමු වසර දෙකේදී මට වැලෙන්ටයින් අරහංය. අපේ සංස්කෘතිය විනාස කරන මේ විකාර වැඩ වලටත් ඒවාට උඩගෙඩි දෙන ජනමාධ්‍යවලටත් මම පළු යන්න බනිමි. ඒවාට අසූවී වැනසෙන අපේ මෝඩ රැල දෙස බලා සරදමට සිනාසෙමි.

තුන්වෙනි වසරේදී මටත් කෙල්ලෙක් වැටෙයි. මෙච්චර කල් බැන්නාට වැලෙන්ටයින්ගේ දෙපා මුල වැඳවැටී සමාව ඉල්ලන්න තරම් මට සිතේ. කාටත් හොරෙන් හන්දියේ කඩෙන් ගත් රෝස මල කවුරුත් නැති තැන කෙල්ලගේ අතට දෙන්න (ඉස්සර කියපු කතාවල හැටියට ලැජ්ජයිනේ කවුරුත් දැක්කොත්), කෙල්ලත් ඇදගෙන ෆිල්ම් හෝල් එකකට රිංගන්න, අයානකට වෙලා අයිස්ක්‍රීම් එකක් තොලගාන්න, මට වැඩ කෝටියකි. වැලා තමා පොර.

මේ ලිපිය ලියමින් ඉන්නා විට මගේ බිරින්දෑගේ හඬ ඇසේ "මේ.... වැලන්ටයින් ළඟ එනවා නේද". "ආ ඇත්තද? බෙරිහන් දෙන්න එපා, පොඩි එකා නිදි නේද?" මම නැවතත් පරිගණකය වෙත හැරෙමි.

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

5 comments:

  1. මට පෙනුන විදිහට මේ ඔයාටම වෙච්ච දෙයක් නෙමෙයි. ඔයා සමස්තයක් හැටියට සමාජය ගැන හිතලා නේද ලිව්වේ?
    කොහොම වුනත් හොඳ දැක්මක්, සුභ පැතුම්

    ReplyDelete
  2. RanDil නංගී, සමාජය කියන්නේ අපි හැමෝගෙම එකතුවක්නේ. ඉතින් සමාජයේ සිද්ධවෙන දේවල් කියන්නේ අපේ අත්දැකීම්නේ. ඒකයි මම උත්තම පුරුෂයෙන් ලියන්නේ. ස්තුතියි සුභ පැතුමට.

    ReplyDelete
  3. සිරා කතාව...
    මට වයස 15 ඉදලා අද වෙනකම් ආදරේ කරනවා සහ ලබනවා. තාම එක පාරක්වත් වැලාව සැමරුවේ නැහැ. තව අවුරුදු 3ක්වත් යාවි පවුල් කාරයෙක් වෙන්න. ඒත් ඒ කාලෙටවත් මම වැලාව සමරණ 1ක් නෑ. හේතුව, සමහරවිට ඔය මළ සමයං මට දිරවන්නේ නැති නිසා වෙන්න ඇති. වෙන රටවල්වල කෙසේ වෙතත් අපේ රටේනම් වැලාව සමරණවා කියලා කරන්නේ තනිකරම ඇන්දවීමක්. වැලාව සමරණවා කියලා එකාට එකා පොරවීමට දැගලීමක් තමා තියෙන්නේ. අන්තිමේදී සමරපු වැලෙකුත් නෑ වෙච්ච පොරකුත් නෑ අතේ සල්ලිත් නෑ. ඔයිට හොදයි දෙන්නට වැදගත් තවත් දවසක් සමරණ 1. කොහොම උනත් අතේ සල්ලි ගොඩාක් තියෙනවානම්, දෙන්නගේම අකමැත්තකුත් නැත්තම් වටේ ඉන්න අයට ආතල් 1ක් ගන්නත් එක්ක වැලාව සමරණ 1 වැරැද්දක් මම දකින්නෙත් නෑ.
    තව 1ක්. ඔයාගේ පොඩි මස්සිනා කියලා තියෙන්නේ සහතික ඇත්ත.
    ජය වේවා...

    ReplyDelete
  4. අන්තිමේ දී වැලා නිසා කොල්ල අමාරුවෙ වැටුන නේද?

    ReplyDelete
  5. රනා මචං, කතාව ඇත්ත. උඹලගෙ සල්ලි වලින් උඹල සමරපල්ලා, අපිට පාන්ද කියල ඉන්න එකයි තියෙන්නේ.

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.