Thursday, January 08, 2015

ආදරණීය ලොකු පුතේ...

ආදරණීය ලොකු පුතේ,

උඹ බලනව ඇති උඹේ තාත්ත වෙනද වගේ නෙමේ පහුගිය ටිකේ දකින දකින කෙනා එක්ක වාද කරන්නෙ මොකද කියල. පුංචි උඹට කළගුණ සලකීම, යහපාලනය වගේ දේවල් නොතේරුණත් උඹට හිතෙනව ඇති ලොසින්ජරයක්වත් හම්බවෙන්නෙ නැති දේකට උඹේ තාත්ත මෙච්චර වද වෙන්නෙ ඇයි කියල. ඒ හැම වාද විවාදයක්ම අවසානයේ ඒ හැමදේටම වඩා ප්‍රබලව පුංචි කතිරෙකින් අපේ තීරණය ප්‍රකාශ කරන දවස තමයි අද.

දෙදාස් අටේ උඹ ඉපදෙද්දිත් අපේ රට තිබුනේ තිස් අවුරුද්දක් පුරා තිබුන යුද්ධෙට අහුවෙලා. උඹට අවුරුද්දක් වෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මුළු රටම එකතුවෙලා යුද්ධෙ ඉවර කරා. කවුරු මොනව කිව්වත් ඒකෙ ගෞරවයෙන් විශාල කොටසක් මහින්ද මහත්තයට ලැබෙන්න ඕන, මොකද යුද්ධෙ පැරදුනානම් එකේ අපවාදය විඳින්න වෙන්නෙත් එතුමට නිසා. යුද්ධෙන් පස්සෙ අපි හැමෝම බලාපොරොත්තු උනේ යුද්ධෙ දිනපු වීරය ඒ එඩිතර කමින්ම රට සංවර්ධනය කරා ගෙනියයි කියල. උඹලට අපිට තිබුනට වඩා ලස්සන රටක් ඉතුරු කරයි කියල. ඒත් උනේ ඒකෙ අනික් පැත්ත. එතුමා කලේ ආසියාවේ ආශ්චර්යය කියල ආලවට්ටමක් පෙන්නන ගමන් රටේ තිබුණ හැම ආයතනයක්ම තමන්ගෙ හෙන්චයියන්ගෙ ග්‍රහණයට පත්කරල රට විනාශ කරපු එක, රට උගස් කරල උන්ගෙ සාක්කු පුරෝපු එක, රටේ නීතිය වෙනුවට අවනීතිය රජ කරවපු එක. මේ රටේ දහසකුත් උගත්තු දක්ෂ පරිපාලකයො ඉද්දි රටේ ජාතික ගුවන් සේවය ඕ ලෙවල්වත් පාස් නැති තමන්ගෙ මස්සිනාට බාරදීල රටට බිලියන ගානක් පාඩු කරපු එක, යුද්ධෙන් පස්සෙ රට ජාත්‍යන්තර තලයෙදි බේරගන්න හිටපු විදේශ සේවය උසාවියෙන් වැරදිකාරයෙක් වෙච්ච ඩීල් කාරයෙකුගේ භුක්තියට බාරදුන්න එක, අපේ විතරක් නෙමේ උඹලගේ පරම්පරාවත් චීනෙට ණයකාරයො කරල ගත්තු ණය වලින් විශාල ප්‍රමාණයක් ගසා කාපු එක වගේ දේවල් යුධ ජයග්‍රහණයෙන් වහන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නෙ නැ මගෙ පුතේ. කොටින්ම කිව්වොත් මගේ අදහස අනුව මහින්ද මහත්තයට යුද්ධෙට විශිෂ්ට සාමාර්ථයක් ලැබුනට අනික් හැම සබ්ජෙක්ට් එකම ෆේල්.

මේ සමිකරණයේ අනික් පැත්තේ ඉන්න කට්ටිය වෙන වෙනම ගත්තම ඒගොල්ලන්ගෙ කැරැට්ටුව එච්චර හොඳ නෑ. අකාර්යක්ෂම චන්ද්‍රිකා, චන්ද දිනන්න බැරි රනිල්, අගමැතිකම නොදුන්න නිසා එළියට බැස්ස මෛත්‍රී වගේ අයගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල කට්ටිය අහනව. ඒ  කතාවෙත් ඇත්තක් නැතුවාම නෙමෙයි. ඒත් පුතේ මේ වෙලාවෙ මහින්ද මහත්තයා ගෙදර නොයැව්වොත් උඹගේ පරම්පරාවට විතරක් නෙමේ අපේ පරම්පරාවෙ අයගේ ජීවිතේ ඉතිරි කොටසත් ගෙවන්න වෙන්නෙ ඒකාධිපති පාලනයක යටත් වැසියෝ වගේ කියන එක පැහැදිලියි. උඹෙත් මගෙත් මව්රට ණයවල හිලව්වට චීනෙට පවරාදෙන්න වෙන බව පැහැදිලියි. අවනීතිය, මිත්‍යාව, දූෂණය රටේ රජවෙනබව පැහැදිලියි. ඒක නිසා මෛත්‍රීපාල කියන පුද්ගලයා ගැන නෙමෙයි ඒ පිටිපස්සේ තියන ජනතා බලවේගය සහ වැඩපිළිවෙල ගැන විස්වාසය තියල මේ වෙලාවෙ හංසයා වෙනුවෙන් මම මගේ චන්දය ලබාදෙන්න මම තීරණය කළා. ඒ තීරණයෙන් ලැබෙන ප්‍රතිපල හොඳ වෙයිද නරක වෙයිද කියන්න මට මේ වෙලාවෙ බැරි උනත් මම දන්නවා මම ගන්නෙ මේ මොහොතේ ගන්න තියන හොඳම තීරණය. කවදාහරි දවසක උඹට හිතුනොත් උඹලගෙ පරම්පරාව මේ රටේ කොන්ද කෙලින් තියන් නිවහල් අදීන ජාතියක් හැටියට ජීවත් වෙන්නෙ උඹලගේ තාත්තල මේ ගත්තු තීරණය නිසා කියල, අපි දිනුම් මගෙ පුතේ.

මම,
උඹේ තාත්තා

6 comments:

  1. මෙත් මල් පිබිදේවා....
    සිත් තුල,
    මෙත් මල් පිබිදේවා...!!!!

    මෛත්‍රී 55% +

    ReplyDelete
    Replies
    1. මාතෙ, කාටද චන්දෙ දුන්නෙ??

      Delete
    2. දිනන කෙනාටනේ...

      Delete
  2. මාත් මේ දැං ගිහින් කතිරෙ ගහල ආව...
    හැබැයි අර ගොබ්බ යට නං නොවී

    ReplyDelete
  3. කෙලෙහිගුණ සැලකුවේනම් නැහැ,හැබැයි රට වෙනුවෙන් යුතුකම් ඉටු කෙරුවා.ඒ කියන්නේ උඹලායේ තාත්තා ගත්තු තීරණේම තමයි පුතේ මම අරගත්තේ.

    ReplyDelete
  4. දැන්නම් යන්නේ මෛත්‍රී පාලනයක් :)

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.