Thursday, March 12, 2015

ඉංග්‍රීසි බැරි අපේ ජනපති... ලැජ්ජයි


ජනාධිපති මෛත්‍රීගේ ඉඳගන්නා විලාසය, ඔහුගේ ඇඳුම්, ඉංග්‍රීසි නොහැකියාව ආදිය උලුප්පා දක්වමින් සමච්චල් කරන මහා උගතුන්යැයි කියන ෆේස්බුක් වීරයන් දකින විට මට ඇතිවන්නේ තරහකටත් වඩා අප්පිරියාවකි. සිංහල බෞද්ධකම ගැන දිවි දෙවෙනිකොට පෙනී සිටිනවායැයි කියමින් ඉංග්‍රීසි නොහැකියාවට සමච්චල්කිරීමෙන්ම මොවුන්ගේ නිරුවත හෙළිවෙන බව ඔවුන්ට නොතේරේ. පිටිසර ගමක ඉංග්‍රීසි නොදන්නා දෙමව්පියන් දෙදෙනෙකුට දාව ඉපිද මහන්සියෙන් ඉංග්‍රීසි ඉගෙනගත් මටනම් ඉංග්‍රීසිය යනු සන්නිවේදන මාධ්‍යයක් මිස ලොවට පෙනෙන්නට පැළඳිය යුතු ආභරණයක් නොවේ. රටේ නායකයා යනු ඉංග්‍රීසි පුළුවන් උඩු රැවුල වැවෙන පපුව ඉස්සරහට දමා කෙලින් හිටගන්න පුළුවන් අයෙකු වියයුතුනම්, එවන් පුද්ගලයන්ට පමණක් චන්ද බලය ලබාදිය යුතුයැයි මම යෝජනා කරමි. එවිට මේ වීරයන් කීදෙනෙකු චන්දය දීමට සුදුසුවේදැයි බැලිය හැකිය. ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම යනු රාජ්‍ය නායකයාගේ ශාරීරික අඩුපාඩු සෙවීම නොව, ආණ්ඩුවේ අඩුපාඩු සෙවීමයි. මේ ආණ්ඩුව තුල සිදුවන වංචා දුෂණ වැරදි ගැන විවේචනය කල යුතුමය. මෛත්‍රීපාල සිරිසේන වරදක් කරන්නේනම් එයද විවේචනය කල යුතුමය. නමුත් එය ඔහුගේ ගැමිකම මිටිකම මත පදනම් නොවිය යුතුය. පෞර්ෂය යනු ශාරීරික ලක්ෂණමත පදනම්වන්නක්ය කියන මානසිකත්වයෙන් ලෝකය මිදී ගොඩක් කල්ය. ශාරීරික ලක්ෂණ මත පදනම්ව නායකයන් තේරීම මේ වනසිට ගෝත්‍රිකයන් විසින් පමණක් සිදුකරන්නකි. අවුරුදු දෙදහස් පන්සියයකටත් එහා දිවෙන ශිෂ්ට ඉතිහාසයක් ඇති අප නැවත ගෝත්‍රික යුගයට යනවාද යන්න තීරණය කිරීම අප සතුය.