Monday, March 08, 2010

මාතෘකාව: ඕන එකක්, තහනම් වචනය: දේශපාලනය | Anything But Politics

පහුගිය දවස්වල ලියපු ‍ලංකාවට හිම වැටුනොත් ලියමනට බොහොම හොඳ ප්‍රතිචාර ලැබිල තිබුනා. ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියත් ඒ ලිපිය උපුටාගෙන පල කරල තිබුනා. බොහොම සන්තෝසයි. ඒ කික් එකත් එක්කම බහිමුකො අද වැඩේට. වැඩේ කියන්නෙ කොහෙන් පටන් ‍අරන් අරන් කොහෙන් ඉවර කරන්න ගියත් අන්තිමේදි දේශපාලන කොනක් ගෑවෙනවමයි. අනේ ඉතින් ඒකට මම මක් කොරන්නද දියවන්නා ඔය මැද්දට වෙලා රුපියල් පහේ බත් එක කාල කට්ටිය ගන්න තීරණ ඉතින් අපිට වාතයක් අරින්න උනත් බලපානවනේ. කොහොම උනත් ඔන්න අද නම් දේශපාලනය ගැන ලියන්නෙම නෑ කියල හිතාගත්ත. මල කෙලයයි මගෙ කරුමෙට හිතට එන හොඳ මාතෘකා ඔක්කොම දේශපාලනය ගැනනේ. කරන්න දෙයක් නෑ සහොදරවරුනි සහෝදරියනි මට ලියන්න හිතට එන එකම අදේශපාලනික මාතෘකාව 'මගේ දිනචරියාව' කියන නීරස මාතෘකාව විතරමයි. අනුන්ගේ කුණු හෙවීමට අකමැතිනම් මෙතනින් එහාට මේ ලිපිය නොකියවුවාට මගේ අබැටකවත් තරහක් නෑ හොඳේ.

ඔන්න ඉතින් නිවාඩු දවසේ උනත් උදේ පාන්දර නැගිටින්න උනේ අල්ලපු ගෙදර රේඩියෝ එකේ මහ හයියෙන් දාලා තිබුන සින්දුව හින්ද. "ආයුබෝවේවා මහ..(දේශපාලනික නිසා මා විසින් ස්වයං වාරණයකට ලක්කරන ලදී.)" කියල කවුදො ලමිස්සියක් යටි ගිරියෙන් බෙරිහන් දෙනවා. ඉතින් මම ඒ ළමයගෙ දෙමවුපියොත් මතක් කරගෙනම ඇඳෙන් නැගිට්ට. නැගිටල ඇඟමැලි කඩ කඩ එද්දි ඉස්සරහට හම්බ උනේ අපේ නංගිව. "මොකද හලෝ අද පන්ති ගියෙ නැද්ද? විභාගෙත් ළඟයි නේද?" මම ටිකක් සැරෙන්ම ඇහුවෙ නංගිගෙ විභාගෙට තියෙන්නෙ තව මාස කීපයක් නිසා. "නෑ හලෝ අද අපිට පන්ති නෑ. මාසයක්ම නිවාඩු. අපේ සර් මේ පාර ..(යලිත් අදේශපාලනික මා විසින් ස්වයං වාරණයකට ලක්කරන ලදී.) ඉල්ලනවනේ. අපේ විභාගෙ වගේද සර්ට පරම්පරා ගානකට ගොඩයන්න තියන චාන්ස් එක. ෂුවර් එකටම අපේ සර් නම්..." නංගි කියාගෙන කියාගෙන යයි. "ඇත්ත ඇත්ත" මම ඇගේ කතාවෙන් ගැලවී බාත්රූම් එක පැත්තට ඇදුනෙමි. හරි බරි ගැසී වාඩි වී මගේ අවශ්‍යතාවය ඉටුකරගෙන හෝද ගන්න ටැප් එක අරිද්දී සුපුරුදු සන්තෑසියමය, වතුර බිඳක්වත් නැත. "මුන්ගෙ අම්...(දේශපාලනිකය. අසභ්‍යය. මෙය ස්වයං වාරණය නොකර මා කුමක් කරන්නද?)".

යානතම් අතපත ගාගෙන හෝදගෙන කරගෙන ආවෙ උදේට කන්න කියල හිතාගෙන. මේසෙ උඩ තියෙන්නෙ පාන් පෙති දෙකයි, මෙකනම් මට හැරෙන්නත් මදි. "අම්මේ වෙන පාන් නැද්ද?". "අනේ ලොකු පුතේ අද පාන් රාත්තලයි ගෙනාවෙ. ඊයෙ ඉඳන් පාන් ගණන්..(බඩු මිල ඉහල යාම ගැන කතා කිරීම දේශපාලනික බව මම විශ්වාස කරමි. ඉතින් කපමි). කොහොම හරි ඒ පාන් පෙති දෙක දඩිබිඩි ගාල ගිලදාල මම එලියට බැස්සෙ මේ වන විටත් මගේ ප්‍රියම්බිකාව ඊයෙ දා ගත්ත විදිහට ෆිල්ම් එකක් බලන්න යන්න මේ වෙනකොටත් ටවුන් එකට ඇවිත් මග බලන් ඉන්න බව දන්න නිසා. හුටා මොන යෑමක්ද. බයික් එකට නැගල ගහනව ගහවනව ස්ටාර්ට් වෙන්නෙ නැති නිසා බලද්දි තමා දැක්කෙ පෙට්‍රල් කඳුලක්වත් නෑ. "මල්ලී.. තමුසෙ ඊයෙ මේකට පෙට්‍රල් ගැහුවෙ නැද්ද?" දැන්නම් මට මලයා සමග උපරිම මලය. "මොන පෙට්‍රල් ගහනවද, ෂෙඩ් ඔක්කොම වහල. ස්ට්‍රයික් එකක්ලු. මේ ජේවීපී..(අනේ අපේ මලයා දන්න දේශපාලනයක් නැත. සමාවෙන්න කපමි. කපමි). ස්ට්‍රයික් කල උන්ගේ හත්මුතු පරම්පරාවටම පින් දිදී පයින්ම ටවුන් එකට ඇදෙද්දී පාර දෙපැත්තේ තාප්පවල එල්ලී ඉන්න පොලිටික්කෝ මට කොචොක් එකට මෙන් සිනාවෙයි. දෙන්න හිතෙනවා..(ස්.වා කරමි.)

දාඩිය පෙරාගෙන මම ටවුමට එද්දී මගේ සොඳුරියගේ මූණ බලන්න ලස්සනය. දන්න වැඩ දෙකතුනක් දාල ඇයවත් ෂේප් කරගෙන හෝල් එකට දිව්වේ ෆිල්ම් එක පටන් ගන්න හොඳටම ළඟ නිසාය. ඒත් හෝල් එක ළඟ බල්ලෙක්වත් නැත. මේ මොන කරුමයක්ද මම ළඟ සිටි කඩල වෙළෙන්ඳෙකු ළඟට කිට්ටු කලේ සිදුවී ඇති දේ විසරම් කිරීමටය. "අයියෙ, ඇයි මේ හෝල් එකේ අද ෆිල්ම් එක නැද්ද?". "ඇයි මල්ලි දන්නෙ නැද්ද. ඒ ෆිල්ම් එක ඊයෙ ඉඳන් තහනම් කරලනෙ. සංස්කෘ...". මගේ හිතට ආදේවල් ලියන්න ගිහොත් මේ මා ලියන අවසන් ලිපිය වනු ඇති. ඒ නිසා මගේ දිනචරියාවද 100% අදේශපාලනික ලිපියක් ලිවීමේ උත්සාහයද මෙයින් අවසන් කරමි.

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්